සුරා බදු ආදායම පහත වැටෙයි

සුරාබදු ආදායම 12.2% කින් අඩු වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස දෙකේදී මෙලෙස සුරාබදු ආදායම අඩු වී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2022 වසරේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම රුපියල් බිලියන 28.6කි. මෙම වසරේ මුල් මාස දෙකේදී එම ආදායම රුපියල් බිලියන 25.1 දක්වා අඩු වී ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ මත්පැන් සඳහා අය කරන බද්ද 2023 ජනවාරි 1 වැනිදා සිට 20% කින් ඉහළ නැංවීම නිසා මත්පැන් මිල වැඩි වුණු බවත් ඒ නිසා පරිභෝජනය අඩු වීමෙන් නීත්‍යනුකූල මත්පැන් අලෙවිය පහත වැටී ආදායම අඩුවන්නට ඇති බවයි.

2023ට රුපියල් බිලියන 217ක සුරාබදු ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දුන්න ද, එම ඉලක්කය සපුරාලීම සුරාබදු දෙපාර්තමේන්තුවට ගැටලුවක් බව සුරාබදු නිලධාරීහු පවසති. එහෙත් එම ඉල්ලක්කය සපුරාගැනීමට උත්සාහ ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුව හා මත්පැන් නිෂ්පාදකයින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ සුරා බද්ද රුපියල් දෙදහසකින් අඩු කරන ලෙසයි.