සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක්

ජනවාරි පහළොස් වැනිදා සිට සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සීතාවකපුර උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේදී සීතාවකපුර සංචාරක කලාප ප්‍රවර්ධනය වැඩසටහන පිළිබඳව පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ඉතාමත් සුන්දරම පරිසර පද්ධතිය වන්නේ කැලණි මිටියාවත ආශ්‍රිතව පවතින සීතාවක නිම්නයයි. සීතාවක රාජධානි ප්‍රදේශය සතුව විශාල ඓතිහාසික වැදගත්කමක් මෙන්ම පාරම්පරික සටන් කලා, පුරාවිද්‍යාත්මක ස්ථාන වැනි සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන රාශියක් ද පවතිනවා. එම නිසා මේ වැදගත්කම පිළිබඳව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැනුම්වත් කිරීමත් ඉතාමත් වැදගත්. එවිට ඔවුන් තුළ මේ ප්‍රදේශයේ නැරඹීම සඳහා වැඩි උනන්දුවක් ඇති කළ හැකියි. ප්‍රදේශය තුළ දැනට පවතින සංචාරක කර්මාන්තය තුළින් අලුත් ආයෝජන ක්ෂේත්‍රයක් බිහි වී තිබෙනවා.

එම සංචාරක කර්මාන්තය වඩාත් ක්‍රමානුකූලව වර්ධනය කිරීම වෙනුවෙන් කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් නව ව්‍යාපෘතියක් එළඹෙන පහළොස් වැනිදා සිට ආරම්භ කිරීමට අප කටයුතු කරනවා.

දැනට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ඇල්ල ඔඩිසි, කැන්ඩි ඔඩෙසි වැනි සංචාරක දුම්රිය මේ වන විට සපුරාගත නොහැකි ඉල්ලුමක් ඇති තත්ත්වයට වර්ධනය වී තිබෙනවා. එවැනිම ආකාරයේ සතිඅන්ත සංචාරක දුම්රිය සේවයක් සීතාවක ඔඩෙසි නමින් ආරම්භ කරනවා. කොළඹ සිට වග දක්වා එම දුම්රියෙන් පැමිණෙන මගීන්ට එතැන් සිට ලංගම හා පුද්ගලික ඒකාබද්ධ ප්‍රවාහන සේවයක් මඟින් සංචාරක සේවය සැපයීමට කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ නියෝජිතයින්, දුම්රිය දෙපාර්තමේන්තුවේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ව්‍යාපෘතියට අදාළ අනෙකුත් ආයතන රැසක නියෝජිතයින්, ප්‍රදේශීය පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.