සියලු පාසල් සිසුන්ට ඉංග්‍රීසි කථන පුහුණුව

රට පුරා සෑම පාසලකම පළමු ශ්‍රේණියේ සිට සෑම ශ්‍රේණියකම ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව මේ මස 30 වන දා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය .

අධ්‍යාපන ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා පදක්කම් සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.

තොරතුරු තාක්ෂණය සමඟ විෂයානුබද්ධව කෘත්‍රිම බුද්ධි විෂය ඉගැන්වීමට ද සැලසුම් කර ඇති බවත් ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබා ගැනීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වාත් 10 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වාත් පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සියල්ල යාවත්කලීන කිරීම් සිදු කරන බවත් ලබන මාසයේදී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2030 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවය.

ලබන මාසයේ සිට විද්‍යාපීඨ ගුරුවරුන් 8,000ක් සහ උපාධිධාරී ගුරුවරුන් 26,000ක් අධ්‍යාපන පද්ධතියට එක් කර ගැනීමට සැලසුම් කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය. පාසල්වල මානව සම්පත දියුණු කිරීමට පියවර ගන්නා බව ද කෙටිකලක් තුළ සිදුකෙරෙන මෙම කටයුතු අතරතුර නිසි පරිදි ඉගෙනීමේ කටයුතු කර ගෙන යාම සඳහා දරුවන් උනන්දු කරවීම මවුපියන්ගේ කාර්යයක් බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.