සිතුම් වසඟ කළ දුහුළු මලක් ..

අනියම් ප්‍රේමයක් ඇති වූ විට තම නීත්‍යානුකූල ස්වාමියාටත්, බිරිඳටත් වඩා සැබවින්ම ඔවුන් බලවත් ලොල් බවක් දක්වන්නේ අනියම් පෙම්වතාට හෝ පෙම්වතියටයි. එය සියලු තැන්හි සිදුවන්නකි. දුහුළු මලක් චිත්‍රපටයේ නිලුපා සුරවීරට ද වූයේ එයයි.

නිලුපා විවාහ වී සිටියේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු සමඟයි. ඇයට තම විවාහ ජීවිතය යම් කම්මැලි කමකින් යුක්ත වූවා වන්නටද විය හැකිය. මේ නිසා දිනක් ඇය තම සේවිකාව සමඟ shopping කරන්නට යන්නේ එම හුදකලාව මකා ගැනීමටය . මෙවැනි අවස්ථාවන්හී දී වන්නේ අහඹු සිදුවීම්ය. යම් විටෙක බොහෝ කලක් හමු නොවූ මිතුරු මිතුරියන් හමුවන අතර එසේත් නැතිනම් සිදු වන්නේ නව මිතුරු හමුවීම් ඇතිවීමය. නිලූපාට ද එය ඒ ආකාරයෙන්ම විය. මේ අතරවාරයේදී නිලූපාට අලුත් මිතුරෙකු හමු විය. කඩවසම් බවකින් මෙන්ම සිත් ඇදබැඳ ගන්නා සුළු කතාබහකින්ද යුක්ත වූ අලුත් යාළුවා නමින් රොහාන් ය. ඔහු මුලින්ම මිතුරු වන්නේ නිලුපා ගේ දියණිය සමඟයි . ඒ හරහා ඔහු ඇදී එන්නේ නිලූපා වෙතයි. මේ හිතවත්කම හඳුනාගැනීම දුරදිග යනවායැයි නිලුපා මුල් මොහොතේ සිතන්නට නැතිමුත් මිත්‍රකම දුරදිග ගියේ එසේ මෙසේ ලීලාවෙන් නොවේ. එය ගැඹුරුම මිත්‍රකමක් දක්වා ඇදී ගියේය. මේ අතරවාරයේ අලුත් මිතුරාගෙන් නිලූපාට ආරාධනාවක් ලැබෙයි. ඒ විදේශයක සිට පැමිණෙන නැවක් නැරඹීමට පැමිණෙන ලෙසයි.. රොහාන් මේ සඳහා නිලූපාටත් සුරවීරටත් ආරාධනා කළ මුත් සුරවීරට යාමට නොහැකි වූ නිසා නිලූපා ඒ සඳහා සහභාගී වන්නේ නිවසේ වැඩටහුන් සේවිකාවද සමඟිනි . හකුළාගෙන සිටින තම අවශ්‍යතාවයන්, හැඟීම් දිගහැරෙන්නේ පියවරෙන් පියවරනි. මෙකී සන්ධ්‍යාවේදී නිලූපා රොහාන්ව මුණ ගැසේ. ප්‍රේමය දළුලෑම ඇරැඹෙන්නේ එතැනදීය. සිහින ප්‍රේමය කවදත් සොඳුරුය.රහසේ පවත්වාගෙන යනු ලබන ප්‍රේමය අන් කවරකටත් වඩා මිහිරි ය. දැන් කථිකාචාර්යවරයා ගේ බිරිඳ වූ නිලුපා රොහාන්ගේ පෙම්වතියයි. ඔවුන් දැන් ලෝකයේ මිහිරිතම පෙම් සුව විඳින අනියම් පෙම්වතුන් යුවලය.ඔවුන් දැන් එකිනෙකා රහසින් හමුවේ . නිලූපාට ද තම ස්වාමියාට වඩා වැඩි ආශාවක් ඇත්තේ රොහාන් කෙරෙහිය. ඕනෑම අනියම් පෙමක දිවෙන බලවත්ම හැඟීම එයයි. සරල ලෙසින් ම කියන්නේ නම් ඔවුන්ගේ හමුවීම දැන් පෙම්බරය .ඔවුන් දෙදෙනා දැන් හිරිමල් පෙම්වතුන් ගානය. ප්‍රේමයේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඔවුන් දැන් යන්නේ පන්සල්ය.

“ඔයා මොනවද ප්‍රාර්ථනා කළේ”
“ඔයා කියන්නකො”
“කියන් නෑ”
“ම්..”
ආදරයේ සුව කවරාකාර ද . ඒ සියලු දෑ අතින්ම ඔවුන් දෙදෙනා පෙම් සුව විඳි . සුන්දර වූ ගීතයක් පරිද්දෙන්ම එය මිහිරි ය.

බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ

ඔබේ සිනහ කඳුළු බිඳක් හෙටත් වාසනා….

හෙටත් වාසනාවන්…

සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා…. මටත් වාසනාවන්

සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා

මල් වරුසා සුවඳ සමය මටත් වාසනා….

මටත් වාසනාවන්…

නෑසියන්නෙ නොනිමි නාද සැවුල් කොවුල් විහඟ ගීත අපට ඇරුණු හුදකලාව මටත් වාසනා…..

හෙටත් වාසනාවන්

සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා…. මටත් වාසනාවන්..

මාල හතක් පළඳන්නට හීන හතක් එළිවන්නට

දොලොස් මහේ පහන් එළිය මටත් වාසනා…..

මටත් වාසනාවන්…

අනාගතය කිරුළු දරා දෙපා මුලට වඩින තුරා ලවන් පොඟන මියුරු තෙපුල් මටත් වාසනා…

හෙටත් වාසනාවන්…

මේ අතර වාරයේ කථිකාචාර්යවරයා ඔහුගේ වැඩ කටයුතු සඳහා දුර බැහැරක යන අතර නිලූපාටත් රොහාන්ටත් නිදහසේ හමුවීම සඳහා ඔවුන්ට එය අගනා අවස්ථාවක් විය. එහෙත් සියල්ල සිදුවන්නේ නොසිතනා අයුරිනි. අද කාලයේ මෙන් ම අනුන්ගේ සුවදුක් සොයනවාටත් වඩා ඕපාදූප සෙවීමට දක්ෂතාවයක් මෙන්ම ආසාවක් දක්වන චරිත එදත් ගමේ ගොඩේ බොහෝසෙයින් සිටියහ. පෙු්ම කතාව මේ ලෙසින් ගලා යන අතරේ කථිකාචාර්ය වරයාට නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙන්නේ තම බිරියගේ කල්කිරියාව සම්බන්ධයෙනි. ඔහුගේ ඉහමොළ රත් වන්නේ මෙවිටය. මෙයින් වඩාත් කලබලයට පත්වන කථිකාචාර්යවරයා අවසන් තීරණය ලෙසින් පැමිණෙන්නේ තම බිරිඳ වන නිලුපා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ය. ඉන් අනතුරුව ඔහු නිලූපාට පවසන්නේ තමාගේ කිසිම අවසරයකින් තොරව නිවසින් පිටව නොයන ලෙසයි. එය ඇයට දරුණු මානසික වේදනාවක් වන්නේ යළිත් තම පෙම්වතාව හමුවීමට නොලැබීමේ කළකිරීමත් සමඟිනි. නිලූපාගේ සිතුවිලි බොහෝ දුරක ගමන් කරයි එය. වේදනාබරය.

රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි…

කිරිලිය සේ දුර පියා සලාලා අත්තටු රිදුණා පමණයි

දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි ..

හිරු සඳු එකවර දෙපස නැගේ කළුවර ඇයි විජිතයම මගේ

කනාටු සුළඟේ දුහුල් මලකි අද වල්මත් වී පාවෙන්නේ ඔබගෙන්දෝ …

ඔහුගෙන්දෝ… මා හෙට දින සමුගන්නේ…

මේ වන විට නිලූපාට යම් යම් කරුණු සම්බන්ධයෙන් ද සැක සිතිවිලි පැන නැගෙමින් තිබිණි. ඒ රොහාන්ට පෙම්වතියත් නැත්තේ ඇයි ද යන්නයි. එහෙත් ඇයට සිහිවන්නේ ඔහු තමා සමඟ පැවසූ සිදුවීමකි. එනම් කාර්යාලයේ සේවයේ කරනා තරුණියන් තමා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමේ වුවමනාවෙන් සිටින බවයි. නමුත් ඔහු පැවසූ පරිද්දෙන් ඔහු ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූයේ නැති බවද ඇයට සිහි වේ. ඒ කවරාකාරයෙන් වුවත් මේ සම්බන්ධව රහසේ සොයා බලන ඇයට දැනගනීමට ලැබෙන්නේ රොහාන් කාර්යාලයේ තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවයි.

දෙබරෙට ගල් වදින්නේ මෙවන් වටාපිටාවක් තුළයි. නිලුපා සොයාගෙන පැමිණෙන කාර්යාලයේ තරුණිය ඇයට බැන වදින්නේ රොහාන් සමඟ ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් හැකි ඉක්මනින් වහාම රොහාන් සමඟ නිලුපාගේ තිබෙන ප්‍රේම සම්බන්ධතාවය නවතා දමන ලෙසයි. මෙතනින් නොනැවතුණු ඇය රොහාන්ගේ මාපියන්ට ද මේ බව දන්වා සිටී. කෙසේ වෙතත් මේ සිදුවීම් මේ ආකාරයෙන් සිදුවන විට නිලුපා තමන් ගැනම ස්වයං අධ්‍යනයක නිරත වීමට උත්සාහ ගනි. ඇයට කෙමෙන් කෙමෙන් මෙම අනියම් සම්බන්ධතාවයේ බරපතලකම වැටහෙන්නට පටන් ගනී. නිලුපා දැන් උත්සාහ ගනිමින් සිටින්නේ රොහාන්ට මෙම සම්බන්ධතාවයේ ඇති භයානක කම මෙන්ම අවිනිශ්චිතභාවය කවරේද යන්න උත්සාහ කරදීමටය.

ඕනෑම අනියම් සම්බන්ධතාවයක අවසානය බොහෝවිට සිදු වන්නේ එසේය. කවර ගනයේ හෝ අනියම් සම්බන්ධතාවයක් ජීවිතයේ අවසාන භාගය දක්වා දිව යන්නේ නැත. බොහෝ තැන්හි දී දෙපාර්ශ්වයම එය අවබෝධ කරගැනීමට උත්සාහ ගනී. මුලින්ම මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නට මුල්වූයේ නිලූපාය. කෙසේ හෝ තම පෙම්වතා සමඟ පවතින අනියම් සම්බන්ධතාවය නවතා දැමීමට නිලුපා තම සිත එකඟ කර ගනී. මේ මොහොත වන විට නිලූපාගේ සැමියා සූදානම්ව සිටියේ ඇයව ඝාතනය කිරීමටයි. එහෙත් අවසානයේ ඇය තම ස්වාමිපුරුෂයාගෙන් අයැද සිටින්නේ සමාවයි. ඒ කිසිදු දිනක යළි ඔහුව නොරවටනා පොරොන්දුව ද සමඟිනි. හැඟීම් සන්තර්පණය කළ සිහින ප්‍රේමයේ අතරමං වූ නිලූපාට පවුල් ජීවිතයක ඇති රැකවරණය හා විශ්වාසනීයත්වය පිළිබඳව කරුණු කාරණා අවබෝධ වන්නේ මෙතැනදීය

1976 දී තිරගත වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙසින් පෙනී සිටියේ නීටා ප්‍රනාන්දුය. රවීන්ද්‍ර රන්දෙණිය ද ඒ හා සමානවම චිත්‍රපටය තුළ පෙනී සිටියද චිත්‍රපටය ගලා ගියේ නීටා ප්‍රනාන්දු වටාය. නීටාගේ ස්වාමියා ලෙසින් රංගනයෙන් සම්බන්ධ වූයේ ටෝනි රණසිංහ ය.

අසෙනි ඉරුගල්බණ්ඩාර