සාමයෙන් නිමවූ ආර්මේනියා – අසර්බයිජාන් යුද්ධයේ කතාව

උපාය මාර්ගික කලාපයක් වශයෙන් අග්නිදිග ආසියාවට අතිශය වැදගත් නගොර්නෝ – කර්බාක් කලාපයට අයිතිවාසිකම් කියමින් දශක ගණනාවක් පුරා ඇවිලී ගිය ආර්මේනියා – අසර්බයිජාන් යුද ගැටුම් කිසිදාක නිමාවට පත් වනු ඇතැයි කිසිවකු නොසිතුවද, මේ වන විට එය යථාර්ථයක් බවට පත් වී ඇත. සෝවියට් රුසියාවේ බිඳ වැටීමෙන් පසු බිහි වූ කොකේසියා කලාපයට අයත් ආර්මේනියාව සහ අසර්බයිජානය දශක ගණනාවකට පසු එකිනෙකා හා මිත්‍රත්වයේ දෑත දිග කිරීමට පටන් ගැනීම බොහෝ රටවල දැඩි විමතියට කරුණක් වී තිබේ.
යුද්ධය හට ගත්තේ මුස්ලිම් බහුතරයක් වෙසෙන අසර්බයිජානයට අයත් බව කියන නගොර්නෝ- කර්බාක් කලාපය කතෝලික බහුතරයක් වෙසෙන ආර්මේනියා විසින් පාලනය කිරීමට එරෙහිවය. දෙපාර්ශ්වයටම සහාය පළ කළ බොහෝ රටවල් මේ යුද අරගලයට වගකිව යුත්තන් බවට පත් වෙද්දී ඊයේ පෙරේදා කර්බාක් කලාපයට සාමය ළඟා කරවීමට දෙරටේහිම රාජ්‍ය නායකයෝ ප්‍රතිඥා දුන්නේ තව දුරටත් රටවැසියන් දුෂ්කරතාවට පත් කිරීමට නොහැකි බව කියමිනි.
අවසන් වරට 2020දී කර්බාක් යුද ගැටුම් උත්සන්න වූවත්, කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු දෙරටම නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර, ඔවුනොවුන්ගේ අභ්‍යන්තර අර්බුද විසඳ ගැනීමට අවධානය යොමු කර තිබිණි.  තිරසාර සාමයකට යෑමට දෙරටම දැන් පියවරක් ඉදිරියට තබා හමාරය. සැබැවින්ම මෙය ඓතිහාසික සිදුවීමකි.

කර්බාක් යනු 1988 වසරේ සිට ආර්මේනියාව සහ අසර්බයිජානය අතර අසමගියේ ඇපල් ගෙඩිය බව මේ ඓතිහාසික සිදුවීම අරභයා ප්‍රකාශයක් නිකුත් කළ අසල්වැසි ජෝර්ජියාවේ යුරෝපීය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රුසිෆ් හුසෙයුනොව් කියා සිටියේය. එවැනි තත්ත්වයක් තුළ ලොව කිසිදු රටක් අපේක්ෂා නොකළ ආකාරයෙන් දෙරට ඉතා සාමකාමීව අර්බුදය නිමා කරගැනීමට ඉදිරිපත්වීම සෙසු රටවලට කදිම ආදර්ශයක් බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබේ.

භෞමික අඛණ්ඩතාව, දේශසීමා ගැටලු, ප්‍රවාහනය සහ සන්නිවේදනය ආදි එකී මෙකී සියලු කරුණු කාරණා සම්බන්ධව සාකච්ඡා කරමින් ඔවුනොවුන්ගේ ස්වාධීනත්වය හා ගෞරවය රැකගත හැකි පරිදි මේ සාම ගිවිසුම හුවමාරු වනු ඇතැයි ද මහාචාර්යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
ජෝර්ජියාවේ චින්තනයේ ගබඩාව නොඑසේ නම් චින්තන ටැංකිය ලෙස විරුදාවලිය ලැබූ මහාචාර්යවරයාගේ ප්‍රකාශ හුදු ප්‍රලාප ලෙස බැහැර කළ හැක්කක් නොවන බව අන්තර්ජාතික මට්ටමේ විද්වතුහු හොඳින්ම දනිති. ඔහු ආවාට ගියාට ප්‍රකාශ නිකුත් නොකරන බැවින් ආර්මේනියාව සහ අසර්බයිජානය අතර මිත්‍රත්වය කලකට පෙර තහවරු වූ බව විශ්වාසය.

අසර්බයිජානයට අයිති බව කියන කර්බාක් කලාපයේ පාලනය දරන ආර්මේනියාව දැන් සිය චින්තනයේ වෙනසක් සිදු කරමින් සිටින බවත්, දෙරටම ඔවුනොවුන් තේරුම් ගැනීමේ සංධිස්ථානයකට පැමිණ ඇති බවත් දැන් පැහැදිලිය.

දෙරට අතර යුද ගැටුම් තාවකාලිකව නිමා කරමින් 2020 අවසන් භාගයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් වීමෙන් පසු මෙතෙක් දෙරට අතර කිසිදු ආකාරයේ ගැටුමක් උද්ගත නොවීය. එම කාලය ඇතුළත දෙරටටම සිය ආර්ථිකය නගා සිටුවීමට සහ වෙනත් ගැටලු විසඳා ගැනීමට වැඩි කාලයක් වැය කර තිබිණි. එමෙන්ම ගෙවී ගිය වසර දෙකකට ආසන්න කාලය ඇතුළත ආමේනියාවට මෙන්ම අසර්බයිජානයට ද සංචාරකයන්ගෙන් අඩුවක් ද නොවීය. අග්නිදිග ආසියාවේ අතිසුන්දර රටවල් ද්විත්වයක් බැවින් මේ දෙරටටම ගෝලීය සංචාරකයන්ගේ සිත් ඇදගත් ගමනාන්තයක් බවට පත්වී තිබිණි.
දෙරට අතර තිරසාර සාමය උදාවීමෙන් පසු ආර්මේනියාව මෙන්ම අසර්බයිජානය ද ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තයෙන් ආර්ථිකය ගොඩ නැගූ විශිෂ්ටතම රටවල් දෙකක් බවට පත් වනු නිසැක බවට දැනටමත් විචාරකයෝ අනාවැකි පළ කරති.

පසුගිය අප්‍රේල් මාසයේදී අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් ප්‍රකාශ කළේ සාම යෝජනාව අරභයා ඉදිරිපත් කළ කරුණු පහේ යෝජනාවට ආමේනියාව කැමැත්ත පළ කළ බවය. සාම ගිවිසුමක් සකස් කිරීම, දේශසීමා සීමා කිරීම, ක්‍රියාකාරී කණ්ඩායම්වල කටයුතු පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම වැනි වැදගත් කරුණුවලට දෙරටම එකඟතාව පළ කිරීම නිසා  අග්නිදිග ආසියාවේ තිරසාර සාමයට කදිම නිදසුනක් බවට පත්වනු ඇතැයි ද, දෙරටේහිම රාජ්‍ය නායකයෝ ඉතිහාසගත වනු ඇතැයිද දේශපාලන විශ්ලේෂකයෝ කියති.

ආමේනියාව සහ අසර්බයිජානය අතර සාමය ස්ථාපිත කිරීමට වැඩි කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ යුරෝපා හවුල විසිනි. එම කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් පසුගියදා කියා සිටියේ දෙරට අතර දුම්රිය මාර්ග සහ මහාමාර්ග ඉදි කිරීමට දෙරටේහිම එකඟතාව පළ වූ බවකි.
දුම්රිය මාර්ගය නිමවීමෙන් පසු අසර්බයිජානයට ඉරානයට මෙන්ම ආර්මේනියාවටත් කිසිදු බාධාවකින් තොරව ගමන් කළ හැකිවනු ඇත. එමෙන්ම වර්තමානය වනවිට ලොව පුරා අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් අතර අතිශය අවධානයට ලක්වූ වැඩිදුර අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ආර්මේනියාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉරානයේ මෙන්ම අසර්බයිජානයේ සිසු සිසුවියන්ටද කදිම අවස්ථාවක් නිර්මාණය කර දෙනු ඇත.
අසර්බයිජානය මෙන්ම ආමේනියාවත් අනාරක්ෂිත රටවල් බවටත්, සංචාරකයන් එහි යෑමට බියක් දක්වන බවටත් ලොව පුරා පැතිර ඇති අනියත බියත්, සාවද්‍ය වාර්තාවත් පුස්සක් බවට පත් කරමින් දෙරට අතර තිරසාර සාමය ස්ථාපිත වීමේ ඓතිහාසික දිනය දැන් උදා වනු ඇත.
ඒ අනුව අසර්බයිජානය සහ ආමේනියාව ලෝකයේ සාමයෙන් දිනූ රටවල් ලෙස විශ්ලේෂකයන් පෙන්වාදෙන අතර යුධ අර්බුද සහිත රටවල් වලට මෙ දෙරට ක්‍රියාපටිපාටිය උදා ලෙස පෙන්වා දෙති.
ඒ අනුව ලෝකයේ අධ්‍යාපන කේන්ද්‍රයක් වූ ආමේනියාව තව තවත් ලෝක අධ්‍යාපන ප්‍රජාවගේ සහ සංචාරකයන්ගේ කේන්ද්‍රස්ථානයක් වනු ඇතැයි විදෙස් විශ්ලේෂකයන් ගේ මතයයි.
කිසිසා විසඳෙනු නැතැයි කී අසර්බයිජාන් සහ ආමේනියා මත ගැටුම කලකට පෙර නිමාවී සාමය ස්ථාපිත වීම ලොව වටා සිසුනට සුබ ආරංචියක් ගෙන ආ කාරණාවක් වූයේය.
ලෝකය සාමකාමී වීම බලාපොරොත්තුව බවට පත් කරගත් සැමදෙනා ආර්මේනියාව සහ අසර්බයිජානය අතර එකඟත්වය පළවූ ස්ථීරසාර සාමය පිළිබඳ සතුටු වූහ.ලෝකයම සාමකාමී වීම අප සියලුදෙනාගේ අරමුණය.එය ලෝකයේ කොහේ සිදුවුවද සතුට දනවන කාරණාවකි.

සසංක රණවීර
©www.ratawata.com