
Dusheni De Silva
දුටුවන් නෙත් සිත් පැහැරගන්නා රූ සපුවක් ඇයට හිමිය. මෑත කාලයේ ඉතා ජනප්‍රිය පාර දිගේ ටෙලි නාට්‍යයෙහි බන්ටි නම් චරිතයට පණ පොවමින් අද ඇය ජනතාව අතර ඉතා ප්‍රිය වූ චරිතයක් බවට පත්වෙමින් සුමති සම්මාන උළෙලෙහි ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත විය. අද පිළිසඳර ඇය සමඟිනුයි. ඇය දුෂේනි මියුරංගි ද සිල්වායි.
ඉතිං කොහොමද ජීවිතය?
මේ දවස්වල රූපගත කිරීම් එක්ක තමයි කාලය ගත වෙන්නේ. ඒ නිසා ටිකක් කාර්යබහුලයි. ඒ සමඟම ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම් කෙරෙනවා.
තවත් අලුත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු පටන් අරගෙන වැඩ කරගෙන යනවා.

ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබීම ගැන ඔබට දැනෙන හැඟීම කොහොමද?
සම්මානයක් කියන එක මම හිතන්නේ ජනතාවගෙන් ලැබෙන ආදරයක් කියලයි. එය මට ලබා දුන්නට ගොඩාක්ම ස්තූතියි මගේ ප්‍රේක්ෂකයන් හට. මට දිගටම ආදරය කරන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලනවා.
මොකද සම්මානය එක වසරකට එකවරයි මට ලැබෙන්නේ. ඒත් ජනතාවගේ ආදරය කියන දේ හැමදාම මට ලැබෙනවා.
ඒක හරි වටිනවා. ඉතින් ඒ සම්මානය කියලා කියන්නේ මිනිසුන්ගේ ආදරය මට ලබා දීපු එක විධියක්. ඉතින් ඒ වෙනුවෙන් මම බොහොම ණයගැතියි.
හොඳම නිළිය වීමේ බලාපොරොත්තු තිබෙනවාද?
අනිවාර්යයෙන්ම. මම හිතන්නේ සෑම රංගන ශිල්පිනියක්ටම තිබෙන හීනයක් තමයි හොඳම නිළිය කියන සම්මානය. එය මටත් එසේමයි. ලංකාව වේවා වෙනත් රටක හෝ වේවා එය ලබා ගැනීමට කැමැතියි.
මම ඒ වෙනුවෙන් වැඩ කරනවා. තවම පටන් ගත්තා විතරයි. කාලාන්තරයක් යද්දි එතැනට මගේ දක්ෂතාවන්, හැකියාවන් ඒවියි කියලා මම බලාපොරොත්තු වෙනවා.

යමෙක් සම්මානයක් ලැබීම තම ජීවිතයට ආභරණයක් යැයි සිතනවා. තවත් අයකුට එය ඔටුන්නක් වන්නටත් පුළුවන්. කැමැතියි දැන ගන්න ඔබට එය දැනෙන්නේ කෙසේද කියලා?
මම හිතන්නේ සම්මානයක් කියන්නේ ආභරණයක්වත් ඔටුන්නක්වත් නෙවෙයි කියලා.
ඒක මගේ පැත්තෙන් බලද්දි මම දකින්නේ අවුරුද්දක් පුරාවට යම් කිසි නිර්මාණයක නියැළී සිට, මහන්සි වී, කැපකිරීම් කර අපගේ පෞද්ගලික ජීවිතය තුළත් යම් යම් කැපකිරීම් කරමින් තමයි මේ චරිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ.
එවැනි දෙයක් ඇගයීමට ලක්වීම ආත්ම තෘප්තියක්. එය ඔටුන්නක් යැයි සිතනවා නම් එය මෝඩකමක් කියලයි හිතෙන්නේ. සම්මානයක් කියන්නෙම යම් කිසි දිරි ගැන්වීමක්. ජනප්‍රියයි කියන සම්මානය තිබෙන්නේ ප්‍රේක්ෂක ආදරයත් එක්කයි.
එය කෙසේවත් ඔටුන්නක් කරගන්න බැහැ. මොකද ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙනවා වගේම ආපසු ඇදලා ගන්නත් එයාලටම පුළුවන්.

ඔබේ හැකියාවන්, දක්ෂතාවන් ඔබ රංගනයෙහි යෙදුණු අනෙකුත් නිර්මාණවලත් දක්නට ලැබුණා. නමුත් ඔබව වැඩි වශයෙන්ම ජනාදරයට පාත්‍ර වූ ‘පාර දිගේ’ ටෙලි නාට්‍යය පිළිබඳව ඔබට ඇති හැඟීම කවරාකාරද?
‘පාර දිගේ’ කියන්නේ මම වැඩි වශයෙන් ආදරය කරන ටෙලි නාට්‍යයක්. මගේ ජීවිතයේ අලුත් විධියක හැරවුම් ලක්ෂ්‍යයක්.
ඒ සඳහා ශිවගුරුනාදන් මහතා මට කතා කරද්දි මම හිතුවේ නෑ ප්‍රේක්ෂකයන් මේ තරම් දුරට මෙය වැලඳ ගනීවි කියලා. අතිශයින්ම ජනප්‍රිය වූ ‘නාඩගම්කාරයෝ’ වැනි ටෙලි නාට්‍යය විකාශය වන කාලයකදීයි අපි එය පටන් ගත්තේ.
ඉතින් මට බොහෝ දේ දුන් එම නාට්‍යමයි මට සම්මානය ගෙනවිත් දුන්නෙත්. ඉතින් මා ලද සම්මානයේ ගෞරවය ලැබිය යුත්තේ එයටයි. මෙම සම්මානය ලැබුණේ දුෂේනිට නොවේ. සරණිටයි. බන්ටිටයි දෙන්නාට

ඔබ ඉන්දියාවේදී රංගන කාර්යයන් කිහිපයක නිරතව සිටියා. ඒ පිළිබඳව පැවසුවහොත්?
ඉන්දියාවේ මාස 09ක් 10ක් පමණ කාලයක් සිටියා මම. නිරූපණ ක්‍ෂේත්‍රයේ යෙදිලා හිටියා. එතැන තව වැඩ කිහිපයක් සම්පූර්ණ කරන්නට තිබෙනවා. සමහර Acting Skills හදාගත්තා.
ඒවා උගන්වන විධිය හරිම වෙනස් එහි. මම ඒවායින් විශාල පන්නරයක් ලැබුවා.
රූපවාහිනියෙන් ඔබ්බට සිනමාව පිළිබඳව ඔබට ඇති හැදෑරීම කොහොමද?
සිනමාව කියන්නේ මගේ ලොකු හීනයක්. මම හරි ආස දෙයක් ලොකු තිරයෙන් මට මාව දැකගන්න ලැබෙන එක. මම හරිම ආදරේ දෙයක්. මගේ පළමුවැනි චිත්‍රපටය අවසන් කළා.
එහි නම සිංහබාහු. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයක්. දැනට එම චිත්‍රපටයේ වැඩ කටයුතු 98%ක් කර අවසන්. මෙම වසර අවසානයේදී තිරගත වේ යැයි බලාපොරොත්තුව සිටින

ඉදිරියේදී විකාශය වීමට නියමිත ඔබ නිර්මාණ දායකත්වය දුන් නිර්මාණ ඇති නේද?
තියෙනවා. දැනට රූගත කිරීම් කරගෙන යනවා අලුත් ටෙලි නාට්‍යයක. ළඟදීම මගේ ප්‍රේක්ෂකයන් හට ආදරෙන් වැලඳගත හැකි ආදරණීය ටෙලි නාට්‍යයක් වේ යැයි විශ්වාස කරනවා.
ඔබට ක්‍ෂේත්‍රය තුළ ඉදිරියට එන්නට අත හිත දුන් බොහෝ අය ඇති. ඒ අතරින් ඔබට දැනුණු චරිත කිහිපයකුත් ඇති.
මතක් කරන්න ඕන ගොඩක් අය ඉන්නවා. දැනගෙන, නොදැන අත හිත දුන් බොහෝ අය. එහෙම දේවල් ගොඩක් තියෙනවා. ජීවිතේ මේ ආපු ගමන් මඟෙහි. අපි අතරින් සමුගත් ITN ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ කපිල ලියනගේ මහත්මා.
ඔහු තමයි මුලින්ම මාව දැකලා ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයට මාව සම්බන්ධ කළේ. මට සුමති සම්මානය ලැබෙන විට ඔහුටද සම්මානයක් හිමිවී තිබුණා. නමුත් එය ලබා ගන්නට ඔහු එතැන සිටියේ නැහැ.
එය ඉතා සංවේදී අවස්ථාවක් වුණා මම මුහුණ දුන්. තව බොහෝ අය ඉන්නවා. මගේ අම්මා, තාත්තා. එයාලා නැත්තම් මම මෙතැන නැහැ. ශිවා අයියා, චාමර අයියා, සද්ධා අයියා තව ගොඩක් අය ඉන්නවා.
මේ තාක් මම වැඩ කරපු සියලු නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු. ඔවුන් හැමෝටම ගොඩාක්ම ස්තූතියි. ඔවුන් නිසා තමයි දුෂේනි කියන රංගන ශිල්පිනිය බිහි වුණේ.

ආදරය කියන්නේ බොහොම සුන්දර හැඟීමක්. තරුණ වියේ ඉන්න ඔබටත් ආදරය පිළිබඳව අදහසක් ඇති.?
ආදරය හරි ලස්සනයි. ඉතින් ආදරය ගැන අත්දැකීමක් අපි හැමෝටම තිබෙනවා. ඒක ලස්සනට විඳින්න පුළුවන් නම් ජීවිතේ ලස්සනයි.
ආදරේ අපිට බෙදාගන්න ඉන්නවා නම් කෙනෙක් ජීවිතේ, ඒක ගොඩක් ලස්සන වෙනවා. මටත් ලස්සන ආදර කතා තිබිලා තියෙනවා. බලමු. ආදරය කියන්නේ විඳින්න ඕන දෙයක්.
මේ මොහොතේ ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවද?
මේ වෙලාවේ එහෙම ආදර කතාවක් නෑ. තිබිලා තියෙනවා. ආයෙම හමුවුණොත් අනිවාර්යයෙන්ම කියන්නම්.

අනාගතයේ ඔබ කරන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවාද? කොහොමද ඔබ අනාගතය ගැන හිතන්නේ?
මම අනාගතය ලොකුවට සැලසුම් කරන කෙනෙක් නෙවෙයි. මම අද දවසේ ජීවත් වෙන කෙනෙක්. මම මගේ පාඩුවේ මගේ රස්සාව කරගෙන ඉන්න ජාතියේ කෙනෙක්.
අනාගතය සුබ විධියට, ලියවිලා තියෙන විධියට වෙයි කියලයි මම බලාපොරොත්තු වෙන්නේ. අද දවස මම සතුටින් ගත කරනවා.
ව්‍යාපාරයක් කරන්නත් මගේ පොඩි Plan එකක් තිබෙනවා. නමුත් මම මේ වෙලාවේ මගේ රංගන ජීවිතයත් එක්ක කාර්යබහුලයි. මට වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ. දැනට මම වෘත්තීමය රංගන ශිල්පිනියක්.
දුෂේනි, ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්නට දෙයක් ඇති?
ප්‍රේක්ෂකයන් නිසා තමයි අද මම මෙතැන ඉන්නේ. ඒ අය මගේ දේවල් බලලා අගය කරපු සහ ආදරය කළ නිසායි. මේ ළඟදී ලැබුණු සම්මානය බැලුවම එය මගේ නෙවෙයි. ඔබ ආදරය කළ සරණිට ඔබ දුන් සම්මානයයි එය.
ජූරියක් දුන්න සම්මානයක් නෙවෙයි එය. ඉතින් ඒකට මගේ ප්‍රේක්ෂකයන්ට මම හෘදයාංගමව ස්තූතිවන්ත වෙන්න ඕන.
තනුජා සුභාෂිණී සිරිවර්ධන- උපුටා ගැනීම හදගැස්ම අතිරේකය
ඡයාරුප Dusheni De Silva facsbookපිටුවෙනි