සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගය ජුනි 27 දා

අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් දින නියම කර ඇත.

පසුගිය වසරේ අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරු කටයුතු කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම් තුන ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර හා ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු දෙදෙනෙකු විසින් එම පෙත්සම් තුන ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිලි අද (28) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ එලෙස තීරණය විය. වගඋත්තරකරු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙහිදී අධිකරණයට දන්වා සිටියාය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥවරු විසින් අදාළ පෙත්සම විභාගය සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටීම හේතුවෙන් අදාළ පැමිණිලි ජුනි මස 27 වන දා විභාගයට ගැනීමට අධිකරණය නියම කළේය.