
මධුර හඬින් රටක් නැළවූ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) සිය ජීවන චාරිකාවට සමුදුන්නේය. ඔහු දශක හයකට අධික කාලයක් තිස්සේ සංගීත ක්ෂේත්‍රයේ නියැළෙමින් සිටි අසහාය ගායකයෙකි.
කලක සිට අසනීප තත්ත්වයේ පසුවූ ඒ මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිණි.
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා උපත ලැබුයේ 1942 පෙබරවාරි 15 වැනිදා ගොතටුවේදීය. ගොතටුව මහා විද්‍යාලය, ශාන්ත මැතිව්ස් විද්‍යාලය සහ මහබෝධි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හෙතෙම සංගීත ක්ෂේත්‍රයට පිවිස ගායකයකු, සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙස මෙරට කලා ලොව ඒකාලෝක කළේය.
මෙරට ගීත ක්ෂේත්‍රයට කිසිදා අමතක නොවන ගීත රැසක් දායාද කළ ඔහුගේ ගීත තවත් දශක 30ක් වුව ශ්‍රවණය කළ හැකි කන්කළු ගීත විය. “මගේ රටට දළදා හිමි සරණයි…” ගීතය එයට එක් උදාහරණයකි. සුභාවිත ගීත කලාවත්, සරල තනු ගීත කලාවත් මැනවින් රසික හදවත් තුළ තැන්පත් කරන්නට සනත් නන්දසිරි මහතා සතු වූයේ අසීමිත හැකියාවකි. ප්‍රථම රූපවාහිනී කතා මාලාව වූ සඳමාලිගේ කතාවට සංගීතය නිර්මාණය කළේ ද නන්දසිරි මහතාය.
සනත් නන්දසිරි මහතා 1971 වසරේ දෙසැම්බර් 18 වනදා ගායිකා මල්කාන්ති නන්දසිරි සමඟ යුගදිවියට එළැඹ, දියණියක් ලබන්නේය. ඇය ගායිකා නිශාමනී අනුරාධායි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේ ද සනත් නන්දසිරි මහතාය.
අභාවප්‍රාප්ත සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි සනත් නන්දසිරි මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු ලබන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.