ශ්‍රී ලංකාවේ පිහිටෙන් කෝලි ඉදිරියට

ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා ඊට හේතු වී ඇති අතර මේ වන විට කෝලිට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 750කි.
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශතක දෙකක් සමගින් ලකුණු 283ක් රැස් කිරීමට විරාත් කෝලි සමත් වුණි.
එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි තවදුරටත් පෙරමුණේ පසුවන්නේ පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් වන අතර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 887කි.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මොහොමඩ් සිරාජ්, ශුබ්මන් ගිල් සහ කුල්දීප් යාදෙව් යන ක්‍රීඩකයින් ද ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.