වෛද්‍යවරු විරෝධතා කළ යුත්තේ පෞද්ගලික රෝහල්වලයි

  • කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

බදු සම්බන්ධයෙන් වෛද්‍යවරු ගෙන යන විරෝධතාව සිදු කළ යුත්තේ සාමාන්‍ය රෝගීන් පළිහක් කරගෙන නොවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

ආණ්ඩුවට හෝ ඉහළ නිලධාරීන්ට විරෝධතාවය පිළිබඳව පසක් කරලීමට නම් රාජ්‍ය රෝහල්වල නොව පෞද්ගලික රෝහල්වල තමන් සිදුකරන වෛද්‍ය කටයුතුවලින් ඉවත් වීම සුදුසු බව ද බෙල්ලන මහතා පෙන්වා දුන්නේය.

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් මෙන්ම වෘත්තිකයන්ට විවිධ ගැටලු පවතින බවත් ඒ සම්බන්ධව වෘත්තිය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම අවසන් තුරුම්පුව ලෙසත් එහෙත් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි අවස්ථාවන් ලබා ගැනීම කාලෝචිත බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා”

“බදු සම්බන්ධව සම්බන්ධව කතිකාවේදී ආණ්ඩුව යම් අවබෝධයක සිටින බව අපි දන්නවා. නමුත් සමහර භාණ්ඩාගාර නිලධාරින්ගෙ නම්‍යශීලී නොවන ප්‍රතිපත්ති නිසා වෛද්‍යවරුන් යම් යම් අපහසුතාවලට පත් වී තිබෙන බවත් මතක් කරන්න ඕනේ. මෙවැනිම කාරණයක් 2019 දීත් යහපාලන කාලයේදී සිදු වුණා. එහිදී ඒ භාණ්ඩාගාර නිලධාරින් කටයුතු කරන්නේ ඊළඟ ආණ්ඩුවක් ගෙන ඒමට ද යන්න සැකයක් අපට තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ ආණ්ඩුව අවබෝධයෙන් සිට අවශ්‍ය කාරණා කටයුතු සිදුකිරීමෙන් අපහසුතාවන් මඟහැර ගත හැකියි . රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සීයට තිහක් විතර සාමාජිකයන්ගෙන් තමයි මෙම බදු අය කෙරෙන්නේ . එම නිසා මෙය පළමුවෙන් කියන්න ඕන වර්ජනයක් ඇත්තටම අවශ්‍ය නම් කරන්න ඕනේ පෞද්ගලික රෝහල්වල. මොකද පෞද්ගලික රෝහල්වලින් තමයි මුදල් තියෙන අය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නෙ. නමුත් රජයේ රෝහල්වලට එන සාමාන්‍ය මිනිස්සු මේවා ගැන මුකුත් දන්නෙ නැහැ. ඒ නිසා මම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්නේ සාමාන්‍ය රෝගීන්ව පළිහක් කරගෙන තම අයිතිවාසිකම් දිනාගන්න උත්සාහ කරන්න එපා කියලා.”