වී කිලෝවක සහතික මිල වැඩි කරන්නැයි යෝජනාවක්

නිෂ්පාදන වියදම සහ ජීවන වියදම සැළකිල්ලට ගෙන වී කිලෝවක සහතික මිල රුපියල් 140.00 දක්වා වැඩි කරන ලෙසත් , රජය ප්‍රකාශ කළ ආකාරයට රුපියල් 100.00 වි මිල දී ගන්නා වී අලෙවි මණ්ඩලයේ ගබඩා තවමත් විවෘත කර නොමැති බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.
යල කන්නය සඳහා කුඹුරු අස්වැද්දීම සම්බන්ධයෙන් තවමත් ගොවීන් අවනිශ්චිත තත්ත්වයකින් පසු වන බව පවසමින් මෙම ඉල්ලීම රජයට ඉදිරිපත් කරමින් එම සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා මේ බැව් කියා සිටියේය.

මෙහිදී උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසූයේ මේ වන විට තෙත වී කිලෝවක් රුපියල් 80.00-82.00 සහ ප්‍රමිතියෙන් යුතු වී කිලෝවක් රුපියල් 95.00ට වෙළෙන්ඳන් විසින් මිල දි ගන්නා බවයි. නමුත් වී කිලෝවක් නිෂ්පාදනය සඳහා ගොවියාට රුපියල් 115-120ක් පමණ වියදම් වේ. මේ තත්ත්වය තුළ ගොවියාට තම අස්වනු විකිණීමෙන් කිසිදු ලාභයක් නොලැබෙන බැවින් යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවින්ගේ යහපත් ප්‍රවේශයක් තවම දක්නට නොමැති බැව් උප සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය. රජය විසින් මඩ පොහොර සඳහා පමණක් නොව යුරියා සහ බන්ඩි පොහොර සඳහා ද රජය විසින් ගොවින්ට සහනයක් සැලසිය යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සකුන්තලා ජයසිංහ