
ශ්‍රි ලංකාව යළි විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනිමත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාමෙන් සංචාරක මර්මස්ථානවල ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර විල්පත්තුව ජාතික උද්‍යානයේ ආදායම ද ඉතා සතුටුදායි වර්ධනයක් අත්කර ගෙන තිබේ.
ඒ අනුව 2021, 2022 සහ 2023 ගෙවී ගිය මාස 2 තුළ දෙස් විදෙස් සංචාරකයින් විල්පත්තුව අභයභුමිය නැරඹීමෙන් ලද ආදායම ගණනය කිරීමෙන් මෙම ප්‍රගතිය තහවුරු වී ඇතැයි විල්පත්තුව උද්‍යාන භාරකරු සුරංග රත්නායක මහතා කියා සිටියේය.
2021 වසරේ විදෙස් සංචාරකයින් 1512ක් සහ දේශීය සංචාරකයින් 30400 ක් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් රුපියල් එක් කෝටි එකොළොස් ලක්ෂ තිස් එක් දහස් දෙසිය හැත්තෑ හතක් (11131277) රාජ්‍ය ආදායමට එක් විය. 2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රතිරූපයේ යම් ස්ථාවර තත්ත්වයක් ඇති වීමත් සමඟ සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන පිබිදීමක් සිදු වීමෙන් පෙර වසරට වඩා සංචාරක පැමිණිම වැඩි වී තිබේ.
ඒ අනුව 2022 වසරේ විදෙස් සංචාරකයින් 11038ක් සහ දේශීය සංචාරකයින් 33876ක් විල්පත්තුව ජාතික උද්‍යානය නැරඹීමට පැමිණ ඇති අතර ඉන් ලද ආදායම රුපියල් හත් කෝටි තිස් දෙලක්ෂ පහළොස් දහස් හයසියයක් (73215600)කි.එමෙන්ම මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකෙහි ආදායම ප්‍රශස්ථ අගයක් ගනිමින් රුපියල් තුන් කෝටි විසි තුන් ලක්ෂ දාහත් දහස් හයසිය හතළිහක් (32317640) ලෙස වාර්තාගත ආදායමක් ලබා ගෙන තිබේ. මෙම දෙමස තුළ විදෙස් සංචාරකයින් 2579ක් සහ දේශීය සංචාරකයින් 6075ක් විල්පත්තුව නැරඹීමට පැමිණ ඇත.
මෙම ආදායම උපයා ගැනීම සමබන්ධයෙන් අදහස් දැක්වු උද්‍යාන භාරකාරවරයා පැවසුවේ විල්පත්තුව අභය භූමියේ සතුන් නැරඹීම සඳහා සංචාරකයින්ට පවතින පහසුකම් වැඩිදියුණු කිරිම මෙන්ම නේවාසික පහසුකම් නැංවීම නිසා විල්පත්තුව පෙරට සංචාරක ආකර්ෂණය දිනා ගෙන ඇති බවයි.
සකුන්තලා ජයසිංහ