විදුලි බල මණ්ඩලයේ වියදම් අඩු කරන්න අලුත් වැඩපිළිවෙළක්

ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවල වියදම අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී ඇමැතිවරරයා විසින් මේ බව පවසන ලදී.

මෙම ආයතනවලට අලුතින් සේවකයින් බඳවා ගැනීම සිදු නොකරන බවත් දැනට සේවයේ යෙදෙන කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම මඟින් සේවක වියදම් උපරිම අන්දමින් අඩු කර ගැනීමට කටයුතු කර තිබෙන බවත් කංචන විජේසේකර මහතා පැවසීය. උදාහරණයක් ලෙස QR කේතය මඟින් ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනට වෙනස් කිරීම සිදුකරනු ලැබූවේ ද සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදු වන රුපියල් මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරි කර ගැනීමට බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය..

මූල්‍ය අර්බුදය හේතුවෙන් ප්‍රමාද වුණු නව සබඳතා 36,000 ක් පමණ සති 6ක් තුළ කඩිනමින් සපයා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ස්මාට් මනුකියවීම (Smart metering) කඩිනමින් හඳුන්වාදීමට කටයුතු කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
එමඟින් පාරිභෝගිකයන් 31,000කට ස්මාට් බිල්පත් එනම් මනුකියවීමෙන් තොර ඉලෙක්ට්‍රොනික බිල්පත් හා SMS මඟින් බිල්පත ලැ‍බීමට නියමිත බවද අමාන්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.