වලල්ලාවිට තරුණ පිරිස ඉදිකළ බුද්ධ මන්දිරයජනතා අයිතියට

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා බුද්ධ මන්දිරය විවෘත කරන අයුරු

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජම්බුගහහේන, නාවලකන්ද ප්‍ර‍දේශවාසී ජනතාවට සිය දෛනික ආගමික හා සාමාජීය කටයුතු සිදු කර ගැනීම සඳහා ගම්මානයට අත්‍යාවශ්‍ය ආගමික මධ්‍යස්ථානයක් නොමැති වීම ප්‍රධාන අඩුපාඩුවක්ව පැවතිණි. එබැවින් ආගමික ස්ථානයක අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා එම ප්‍රදේශයේ පදිංචි ඕ.වී. කරුණාරත්න මැතිතුමාගේ සහ එම මැතිණියගේ සංකල්පයක් මත තම ඉඩමෙන් කොටසක් පරිත්‍යාග කර දඹදිව සිට වැඩම කළ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරන ලද අතර ජාතික තරුණසේවා සභාව මගින් සංවිධානය කරන ලද “Youth got Talent” වැඩසටහනෙහි දායකත්වය ද යොදා ගනිමින් ජම්බුගහ‍‍‍හේන නාවලකන්ද සමනල යෞවන සමාජයේ සභාපති පේශල පසන් කරුණාරත්න මහතා ප්‍රමුඛ තරුණ පිරිස විසින් බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

2016 වර්ෂයේ සැප්තැම්බර් මස 04 දිනට යෙදී තිබුණු සුබ මොහොතින් එවකට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කල ධනුෂ්ක රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බුද්ධ මන්දිරය ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ අතර රට තුළ පැවති දිගුකාලීන අයහපත් තත්ත්වයන් යටතේ පවා ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් විවිධ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් අදියර කිහිපයක් ඔස්සේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදි.

එසේ ඉදිකිරීම් කටයුතු සිදු වූ බුද්ධ මන්දිරයෙහි ඉදිකිරීම් කටයුතු සාර්ථක අන්දමින් නිමා කරමින් අභිනව බුද්ධ මන්දිරය තුළ පිළිම වහන්සේ තැන්පත් කොට බොදු බැතිමතුන්ට වන්දනා මාන කිරීම සඳහා විවෘත කිරීම මැදින් පුර පසලොස්වක පොහෝ දින එනම් 2023 මාර්තු මස 06 දින පෙ.ව 10.37 ට යෙදී තිබූ සුබ මොහොතින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මුල්ගල තබා වසර 08 කට පසුව මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ උත්සවශ්‍රීයෙන් සිදුවූ මෙම පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය කර්මය බුද්ධ මන්දිරයට මුල්ගල තැබූ, වර්තමාන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතාගේ සුරතින්ම සිදු කිරීමද සුවිශේෂී කරුණක් විය.

මීගහතැන්න ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ඕපාත ඤාණිස්සර හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ අතර 2023 මාර්තු මස 06 වන දින උදෑසන 7.02 ට පිළිම වහන්සේ රැගත් පෙරහර මීගහතැන්න ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයෙන් (විද්‍යාරාම පිරිවෙන් විහාරස්ථානය) ගමන් ආරම්භ කොට නාවලකන්ද බුද්ධ මන්දිරය වෙත පිළිම වහන්සේ වැඩමවීම සිදුකරන ලද අතර බුද්ධ මන්දිරය විවෘත කර සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් පසු උත්සව සභාව ආරම්භ විය. අභිනවයෙන් විවෘත වූ බුද්ධ මන්දිරය අසල සවස්කාලයේදී මොරගහමුල සමාහිත හිමිපාණන් විසින් බෝධි පූජා පුණ්‍ය කර්මය සිදුකරන ලද අතර කිතුල්විටිගල චන්ද්‍රසිරි හිමිපාණන් විසින් පවත්වනු ලැබූ කාව්‍යමය ධර්ම දේශනාවෙන් අනතුරව බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යොත්සවය නිමාවට පත්විය.

මෙම උතුම් පිංකම සඳහා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා, වලල්ලාවිට සමථ මූල මණ්ඩල සභාපති ඕ.වී කරුණාරත්න මහතා, 849-D ග්‍රාම නිලධාරිනී සෞම්‍යා උපේක්ෂා මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් සමගින් ප්‍රදේශවාසී බැතිමතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වූහ.