
කෘෂිකාර්මික කලාපවල ඔඩු දුවා ඇති බරපතළ සමාජ ප්‍රශ්නයක් වන අලි මිනිස් ගැටුම විසඳීම සඳහා ජෛව වැටක් ලෙස ඉන්දියන් විලෝ ශාකය යොදා ගත හැකි බැව් නවතම පර්යේෂණයකින් තහවුරු කර ගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ජෛව තාක්ෂණ අධ්‍යයන අංශයේ ආචාර්ය රුවිනි අභයපාල, ආචාර්ය නිලූෂි නුගාරා, ආචාර්ය උදයගී කුමාරසිංහ, පර්යේෂණ සහකාර ලහිරු පෙරේරා සහ නුවන් ධර්මරත්න යන මහත්ම මහත්මීන්ගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කර තිබේ.
2021 වර්ෂයේ ආරම්භ කළ මෙම පර්යේෂණය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ,බිසෝපුර, නඹඩවැව ප්‍රදේශය ආශ්‍රිතව ක්ෂේත්‍ර පර්යේෂණ රැසක් සිදු කර තහවුරු කර ගත් නවතම විසැඳුමක් බැව් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රධාන පර්යේෂණ නිලධාරි ආචාර්ය රුවිනි අභයපාල බිම් මහත්මිය කියා සිටියාය.
ඉන්දියන් විලෝ ශාකය වල් අලින්ට විකර්ෂකයක් ලෙස යොදා ගත හැකි බවට පුර්ව පර්යේෂණ පත්‍රිකා නොමැති මුත් ආදි මානව යුගයේ මැමර්ත් සතුන් සඳහා විකර්ෂක ශාකයක් ලෙස යොදා ගෙන ඇති බවට යම් යම් තොරතුරු ඇතත් වන අලින් මිනිස් වාසස්ථානවලට පැමිණීම වැළැක්වීමට ජෛව වැටක් ලෙස යොදා ගත හැකි බවට කළ පළමු පර්යේෂණය මෙය බැව් පර්යේෂණ කණඩායම පවසයි.ඒ අනුව මෙම පර්යේෂණ කණ්ඩායම මඟින් මුලින්ම හීලෑ අලින්ගේ ආහාරවලට විලෝ ශාකයේ අතු එක් කළ මුත් උන් අතිශය ප්‍රිය කරන කිතුල් පොල් පවා මෙම අතු අසළ ඇති විට ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරන බවට නිරික්ෂණය වීමත් සමඟ වන අලි ගම් වදින මාර්ග ආසන්නයේ මෙම ශාක අලුතින් සිටුවීමට කටයුතු කරන ලදි. එහිදි ගම්වාසින් විසින් ලබා දුන් තොරුතුරු අනුව වන අලි මෙම ශාක ආසන්නයටවත් ළඟා නොවන බව තහවුරු කර ගන්නා ලදී. මෙම තොරතුරුත් සමඟ මහවැලි අධිකාරයේ සහාය ඇතිව මහවැලි ඩී කලාපයේ බිසෝපුර නඹඩවැව ප්‍රදේශයේ අලුතින් පැළ 200ක් සිටුවා තවදුරටත් අලින්ගේ ප්‍රතිචාරය නිරික්ෂණය කළ අතර එහිදි නිරන්තරයෙන් වන අලි ගම් වදින මෙම කලාපයට අලින්ගේ පැමිණීම සිදු නොවු බවත් ගම්වාසින් සනාථ කර තිබේ.
මෙම තවතම පර්යේෂණාත්මක විවරණය තවදුරටත් පුළුල් කරමින් ඉන්දියන් විලෝ ශාකයේ වන අලි විකර්ෂක ස්වභාවයේ විද්‍යාත්මක පදනම තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත් විශේෂයෙන් විලෝ ශාකයේ කොළවලින් සකසා ගන්නා යුෂවලින් විසරණය කළ හැකි දියරයක් සකසා ගැනීම පිළිබඳවත් පර්යේෂණ සිදු කරමින් පවතින බැව් ආචාර්ය රුවිනි අභයපාල මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
සකුන්තලා ජයසිංහ