
මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයාව සිටි 118 හැවිරිදි ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසීල් රැන්ඩන් ඊයේ මියයාමත් සමග අමෙරිකාවේ උපත ලද ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කර තිබේ. මාරියා බ්රැන්යාස් මොරේරා එම වාර්තාවට හිමිකම් කියනු ඇත.
මාරියා බ්රැන්යාස් මොරේරා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සලකන බව, වයෝවෘද්ධ විද්‍යා පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ උපදේශක රොබට් ඩී. යන්ග් ඊයේ නිවේදනය කළේය.1907 මාර්තු 04 වැනිදා අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝහි දී උපත ලැබූ ඇය, පසුව ස්පාඤ්ඤය වෙත පැමිණ ඇත්තේ, කුඩා කාලයේ දී පවුල්ලේ සාමාජිකයන් ද සමගින්ය.
කෙසේ වුවද, ගිනස් ලෝක වාර්තා කමිටුව මේ පිළිබඳ නිල නිවේදනය නිකුත් කරන්නේ, මොරේරාගේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් සහ ඇයගේ පවුලේ අය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව වාර්තා වේ.
මාරියා බ්රැන්යාස් මොරේරා 1918 ලෝක වසංගත සමය, ලෝක යුද්ධ දෙකක් සහ ස්පාඤ්ඤය සිවිල් යුද්ධය යන සුවිශේෂි කඩඉම් රැසක් අත්විදි කාන්තාවකි. ඉකුත් දශක දෙක තුළ ඇය ජීවත් වූයේ ස්පාඤ්ඤයේ ”ඔලොට්” නගරයේ සැන්ටා මරියා දෙල් තුරා සාත්තු නිවාසයේය.