රුසියාව න්‍යෂ්ටික අවි සහ යුක්රේනය

ගෝලීය ආර්ථිකය උඩුයටිකුරු කරවමින් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ යුද අරගලයට ඊයේ වනවිට දින 118කි. මේ දීර්ඝ කාලපරිච්ඡේදය පුරා දෙපාර්ශ්වය අතර දරුණු සටන් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර, ඉන් වැඩිම හානිය සිදුවූයේ යුක්රේන හමුදාවට බව අවිවාදිතය.
ප්‍රමාණයෙන් සහ යුද ශක්තියෙන් යුක්රේනයට වඩා බලවත් රුසියාවට සිදුවූයේ සුළුපටු හානියක් නොවේ. ඊට හමුදා සෙබළුන්ගේ ජීවිත හානියට වඩා ගෝලීය වශයෙන් සිදු වූ බලපෑම ඉතා වැඩිය. බටහිර රටවල් විසින් රුසියාවට සම්බාධක පැනවීමත් සමග ලොව බොහෝ රටවල් මෙන්ම රුසියාව ද බලවත් ආර්ථික පසුබෑමකට ලක්වී සිටින අතර, එහි බලපෑම තවත් කාලයකට පවතිනු ඇත.
යුද්ධය ආරම්භ වූ මුල් කාලයේදී රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කරනු ලැබුවේ මාසයකට වැඩි කාලයක් යුද්ධය නොපවතිනු බවය. ඔහුගේ ප්‍රකාශයේ යටි අරුත වූයේ මාසයක් ගත වන විට යුක්රේනය පරාජය කිරීමට රුසියාව සමත්වනු ඇති බවය. එහෙත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් ලැබූ අතිනවීන යුද උපකරණ හේතුවෙන් රුසියා හමුදාවට මුහුණදීමට තරම් ශක්තියක් යුක්රේන හමුදාවට ලැබී තිබූ හෙයින් පුටින්ගේ බලාපොරොත්තුව මෙතෙක් යථාර්ථයක් බවට පත්වී නැත.
යුද්ධය දින 118ක් පුරා ඇදී යද්දී පුටින් සහ සෙසු රුසියා නිලධාරීන් යුක්රේනයට තර්ජනය කරමින් කියා සිටියේ න්‍යෂ්ටික අවි භාවිත කිරීමට ඉඩ නොතබන ලෙසය. එහෙත් මේ වන විට රුසියාව ඒ සඳහා සූදානමින් පසුවන බවට අමෙරිකා බුද්ධි අංශය තහවුරු කර ඇත. ඕනෑම මොහොතක තුන්වැනි ලෝක මහා යුද්ධයට මග සලසමින් න්‍යෂ්ටික අවි යුද්ධය ආරම්භ වනු ඇතැයි දැනටමත් ගෝලීය දේශපාලන විශ්ලේෂකයන් මෙන්ම යුද විශේෂඥයන් ද අනතුරු අඟවා තිබේ.
රුසියා ආරක්ෂක අමාත්‍යාංශයේ 12 වැනි ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නම් කර ඇත්තේ එවැනි න්‍යෂ්ටික අවි සම්බන්ධව තීරණ ගැනීමේ අධිකාරිය වේ. මේ අධිකාරිය දැනටමත් න්‍යෂ්ටික අවි සඳහා ගබඩා පහසුකම් දුසිමක් පමණ ක්‍රියාත්මක කරමින් ද, අධීක්ෂණය කරමින් ද සිටී. එම න්‍යෂ්ටික අවි ගබඩා හඳුන්වනු ලබන්නේ Object S නමිනි. මේ අවි ගබඩා රුසියා සමුහාණ්ඩුව පුරා විසිරී ඇති අතර, එහි විවිධාකාර පුපුරණ සුලු අතිවිශාල න්‍යෂ්ටික අංශු සහ හයිඩ්‍රජන් බෝම්බ දහස් ගණනක් වේ.
දැනට ජිනීවා නුවර ජීවත්වන රුසියා න්‍යෂ්ටික බළකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සහ මොස්කව් භෞතික විද්‍යා හා තාක්ෂණ ආයතනයේ හිටපු පර්යේෂකයකු වන පවෙල් පොඩ්විග් පවසන පරිදි ගොඩබිම හා සබ්මැරීන් මත සවි කර ඇති දිගු දුර බැලස්ටික් මිසයිල රුසියාව සතුව පවතින එකම න්‍යෂ්ටික අවි තොගයයි.
කෙසේ වුවත් හදිසි භාවිතය සඳහා කෙටි කාලයක් තුළ උපක්‍රමශීලීිව න්‍යෂ්ටික අවිවලින් යුක්රේනයට පහර දීමට පුටින් තීරණය කළහොත් යුක්රේන දේශසීමාවේ සිට සැතපුම් 25ක් දුරින් පිහිටි බෙල්ගොරොද් 22 ප්‍රදේශයේ ස්ථාපිත Object S ගබඩාවෙන් ඒවා ඉවත් කර හමුදා කඳවුරු වෙත ප්‍රවාහනය කිරීමට පුටින්ට සිදුවනු ඇත. කෘස් මිසයිල හෝ බැලස්ටික් මිසයිල සමග සම්බන්ධ කිරීමට හයිඩ්‍රජන් බෝම්බ ගුවන්යානාවලට පටවා ගැනීමට සහ ඒ අවි භාවිත කිරීම සඳහා සූදානම් විමට අවම වශයෙන් පැය කිහිපයක්වත් ගතවනු ඇත. ඒ වනවිට අමෙරිකාව එම ආයුධවල චලනය හෝ හැසිරීම නිරතුරුවම නිරීක්ෂණය කරමින් සිටින බවට සහතිකය. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ හෝ යුක්රේන දේශසීමා අවට සඟවා ඇති නවීන තාක්ෂණයෙන් අනූන කැමරා, දුරදක්න සහිත ඔත්තු සෙවීමේ පද්ධතියට එය සැඟවීමට ද නොහැකි වනු ඇත. එවැනි තත්ත්වයක් උදාවුවහොත් අමෙරිකාව ගත යුතු ක්‍රියාමාර්ගය කවරෙක්දැයි අනුමාන කිරීම දුෂ්කරය.
රුසියාව විසින් යුක්රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීමට පියවර ගැනීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි කරුණක් බවත්, එය දරුණු ප්‍රතිවිපාකවලට තුඩු දෙන සිදුවීමක් වනු ඇති බවත් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් ඔහුගේ පරිපාලනය එම ප්‍රතිවිපාක කවරේදැයි ප්‍රසිද්ධියේ පැහැදිලි ප්‍රකාශ සිදු කර නැත. එය අමෙරිකාවේ උපායමාර්ගික ක්‍රමවේදයකි.
රුසියාව විසින් යුක්රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ සම්භාවිතාව, විය හැකි ඉලක්ක සහ නිසි අමෙරිකා ප්‍රතිචාර සම්බන්ධව න්‍යෂ්ටික බළකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සහ මොස්කව් භෞතික විද්‍යා හා තාක්ෂණ ආයතනයේ හිටපු පර්යේෂක පවෙල් පොඩ්විග් පසුගිය මාසය ඇතුළත ලොව ප්‍රකට හා ප්‍රවීණ ආරක්ෂක විශේෂඥයන් සහ අමෙරිකාවේ හිටපු නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබේ. ඕනෑම යුද්ධයකදී බර අවි භාවිතයට වඩා න්‍යෂ්ටික අවි භාවිතයේ අවදානම හා බිහිසුණ බව අතිවිශාල බව පවෙල්ගේ අදහස වී තිබේ. එමෙන්ම එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් අමෙරිකාවට ගැනීමට සිදුවන තීරණ පෙර නොවූ විරූ තරම් බරපතළ වනු ඇතැයි ද ඔහු අවධාරණය කර තිබේ. විශේෂයෙන් 1945 දෙවැනි මහා ලෝක යුද්ධයේදී අමෙරිකාව විසින් ජපානයේ නාගසාකි සහ හිරෝෂීමා නගරවලට දැමූ පරමාණු බෝම්බවලින් සිදු වූ විනාශය ජපාන වැසියෝ තවමත් අත් විඳිමින් සිටිති. එමෙන්ම එය එවකට ලොව එකම න්‍යෂ්ටික බලය ද විය.
එහෙත් මේ වන විට ලොව රටවල් 9ක න්‍යෂ්ටික අවි තිබේ. අනෙක් අතට ඒවා කඩිනමින් භාවිත කිරීමේ හැකියාව ද ඇත. ඒ අනුව ලොව දරුණු දේවල් වැරදි ලෙස භාවිත කිරීමට ඇති හැකියාව ද විශාල වශයෙන් වර්ධනය වී ඇත. කඩිනමින් න්‍යෂ්ටික අවියක් භාවිත කරන්නේ කෙසේදැයි අවස්ථා කිහිපයකදීම රුසියාව අත්හදා බලා ඇතැයි රුසියාවේ න්‍යෂ්ටික බළකා ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මීට පෙර රුසියාව කළු මුහුදට ඉහළින් පිපිරීමක් සිදු කරමින් ද, ඉන් කිසිදු හානියක් සිදුනොවූවත් එය වඩාත් නරක අතට හැරවිය හැකි බවට සංඥා කරමින් ද සිදු කර ඇති එවැනි අත්හදා බැලීම් ඉදිරියේදී නියමිත හා ඉලක්කයට එල්ල කරමින් යුක්රේනය මුළුමනින්ම විනාශ කිරීමේ හැකියාව රුසියාව සතුව පවතී. යුක්රේනයේ අතිවිශාල නගරයක් මුළුමනින්ම අළු ගොඩක් බවට පත් කිරීමට රුසියාවට වැයවනු ඇත්තේ තත්පර කිහිපයක් පමණි. එක් න්‍යෂ්ටික ප්‍රහාරයකින් ඔවුන්ට එය සිදු කළ හැකි බව රුසියා න්‍යෂ්ටික බළකා ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂවරයා සහතික කර ඇත.
මේ වසර වන විට රුසියාව සතුව න්‍යෂ්ටික අවි 5,977ක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එය ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව බවට ද වාර්තා පළ වී තිබිණි.
යුක්රේනයට රුසියාවෙන් එල්ල වන ඕනෑම න්‍යෂ්ටික අවි ප්‍රහාරයකදී නිසි ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව අමෙරිකාව පුන පුනා කියා සිටියද, වඩාත් වැදගත් වන්නේ අමෙරිකාවේ ප්‍රතිචාරය රුසියාවේ අනාගත හැසිරීමට කෙතරම් දුරට බලපාන්නේද යන්නය. එය පුටින් පසුබැස්වීමට හෝ ශක්තිය දෙගුණ වීමට සාධකයක් වන්නේද යන්නය. යුක්රේනය තවත් හිරෝෂීමාවක් හෝ නාගසාකියක් වන්නේද නැද්ද යන වග තීරණය වන්නේ රුසියාවේ න්‍යෂ්ටික ප්‍රහාරය මත නොව අමෙරිකාව ඊට ප්‍රතිචාර දක්වන ආකාරය මතය.

Scroll to Top