රුසියානු – යුක්රේන යුද්ධයෙන් බැටකන සරසවි සිසුවෝ

.

රුසියා – යුක්රේන යුද ගැටුම් ආරම්භ වී හරියටම මාස තුනකි. පසුගිය පෙබරවාරි මාසයේ 24 වැනිදා රුසියා හමුදාව යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු අද වන විට එහි දිස්වන්නේ වසර ගණනාවක් පුරා අතහැර දමනු ලැබූ පාළු නගරයක ස්වරූපයකි. අමු සොහොනක් බඳු මූසල දසුනකි. මිසයිල හා බෝම්බ ප්‍රහාරවලින් විනාශ වූ ගොඩනැගිලි අද නටබුන් ගොඩක් පමණි.
යුක්රේනය කලක් විදේශීය සිසුන්ට වැඩිදුර අධ්‍යාපනයේ කදිම කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබූ අතර, විශේෂයෙන් වෛද්‍ය උපාධිය සඳහා ලොව පුරා දසදහස් ගණනින් සිසු සිසුවියෝ එක්රැස්ව සිටියහ. රුසියාවේ පැවැතියේද එවැනිම පසුබිමකි. එහෙත් යුද ගැටුම් ආරම්භයත් සමඟ සියල්ල උඩුයටිකුරු වී ගියේය. යුද්ධයේ පළමු දිනයේදීම එරට රැඳී සිටි විදේශිය සිසු සිසුවියන්ට මරණයෙන් බේරීමට ජීවිත රැක ගැනීමට ආරක්ෂාකාරී ස්ථාන සොයා පලා යෑමට සිදු වී තිබු අතර, ඇතැම් විශ්වවිද්‍යාලවල විදේශීය සිසු සිසුවියන්ගේ නේවාසිකාගාර තුළ ඇති වුයේ අතිවිශාල ගාලගෝට්ටියකි. ලොව පුරා විවිධ රටවලින් පැමිණ සිටි සිසු සිසුවියන්ට යුද ගැටුමෙන් ජීවිත ආරක්ෂා කරගැනීමට කිසිදු විකල්පයක් ද නොතිබිණි.
යුද්ධයේ පළමු පැයේදිම අතිශය සුන්දර ගොඩනැගිලි මිසයිල ප්‍රහාරවලින් පුපුරා යද්දී විදෙස් සිසු සිසුවියෝ හිස් ලූ ලූ අත පලා ගිය බව පසුව වාර්තා විය.
රුසියාව පළමුවරට යුක්රේනයට යවනු ලැබූ හමුදා සොල්දාදුවන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසකි. එය අතිවිශාල යුද්ධයක පෙරනිමිති පහළ කළ බියජනක දසුනක් බවට පත්වූ අතර, යුක්රේනයෙන් පලා යැම හැර අන් විසඳුමක් විදෙස් සිසු සිසුවියන්ට නොවීය. ඔවුන්ට සිදු වූයේ එරට සිවිල් ජනතාව දේශසීමා ඔස්සේ අසල්වාසී රටවලට පැන යද්දී ඔවුන් සමඟ එක්ව දිවි ගලවා ගැනීමේ අරගලයක නිරතවිමටය. යුක්රේනයේ කියෙෆ් අගනුවර ඇතුළු තවත් නගර රැසක ජනතාවට දේශසීමා කරා යෑමට විශේෂ බස් රථ පහසුකම් සපයා තිබිණි. එහෙත් එම බස් රථවලට නැග දේශසීමා අසලට ළඟා වීමට උත්සාහ දැරූ බොහෝ විදෙස් සිසු සිසුවියන්ට ඊට අවසර නොලැබිණී. ඔවුන්ට සිදු වූයේ බස් රථයක පිහිට ලැබෙනතුරු ඉදිරියට පයින් ගමන් කිරීමය.
එය ඉතා ඛේදජනක මෙන්ම අවදානම් සහිත ක්‍රියාවක් ද විය. රුසියා මිසයිල ප්‍රහාරයක් කිනම් මොහොතක හෝ තමා ඉදිරියේ ඇද වැටෙනු ඇතැයි සිතුණ ද, එසේ නොවන ලෙස දෙවියන්ට කන්නලව් කරමින් ඉදිරියට දිව ගිය විදෙස් සිසු සිසුවියෝ අපමණ වූහ.
සිවිල් ජනතාව හැරුණු විට විදෙස් ජාතිකයන්ට දේශසීමා අසළට ගමන් ගන්නා බස් රථවලට ගොඩවීමේ අවසරය නොලැබීමෙන් ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ඇද වැටිණි.
දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු යුරෝපයේ අඳුරුතම පැය කිහිපය උදා වූයේ ඒ අයුරිනි. රුසියා ප්‍රහාරයේ පළමු පැය ඇතුළත ජීවිත 50ක් මරණයට බිලි විය. රුසියා – යුක්රේන යුද්ධයේ භයානක තත්ත්වය අවබෝධ කරගැනීමට එය හොඳටම ප්‍රමාණවත්ය.
ජනතාව මර බියෙන් රටින් පලායද්දී කිසිදු හව් හරණක් නැතිව විවිධ ආරක්ෂිත ස්ථාන තුළ කොටුවී සිටි විදේශීය සිසු සිසුවියන්ට යුක්රේන රජයේ ද අවධානය යොමු නොවීය.
යුද්ධයේ පළමු දින කිහිපය ඇතුළත යුද සරණාගතයන් හෝ සංක්‍රමණිකයන් ලෙස යුක්රේනයෙන් පලා ගිය සාමාන්‍ය ජනතාව මිලියන 6කට ආසන්න වූ අතර, ඉන් පනස්දහසක්ම පිළිගැනීමට ප්‍රංසය පියවර ගත්තේය. ඔවුන්ට තාවකාලික වීසා බලපත් ද ලහි ලහියේ නිකුත් කෙරිණි. එහෙත් යුක්රේනයේ සිර වී සිටි විදෙස් සිසු සිසුවියෝ ඊට ඇතුළත් නොවූහ. සිවිල් ජනතාව සමඟ ප්‍රංසයට පලා ගිය විදෙස් සිසු සිසුවියෝ දහසකට ආසන්න බවට වාර්තා විය.
දහස් සංඛ්‍යාත විදෙස් සිසු සිසුවියන් නිසාම සැළකිය යුතු විදේශීය විනිමයක් උපයා ගැනීමට යුක්රේන රජයට හැකි වූවත්, මෙවැනි භයානක තත්ත්වයකදී එම සිසු සිසුවියන් නොසළකා හැරීම අතිශය කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය කර තිබිණි. යුද ගැටුම් අරභයා එරට සිවිල් වැසියන්ට විශේෂ වරප්‍රසාද, ආහාරපාන, නවාතැන් හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සියල්ල රජය මත පැටවිණි. එහෙත් විදෙස් සිසු සිසුවියෝ මේ සියලු  හදිසි අවශ්‍යතා හා වරප්‍රසාද පැකේජයට ඇතුළත් නොවූහ.
හැකි සියලු උත්සාහයන් දරා දේශසීමා කරා ළඟා වූ බොහෝ විදෙස් සිසු සිසුවියන් වෙනත් අසල්වාසී රටවලට පැන ගිය ද, ඔවුන්ට එම රටවලින් පවා එතරම් පිළිගැනීමක් සිදු නොවීය.
යුක්රේනයේ කියෙෆ් අගනුවරින් පලා ගොස් ප්‍රංසයට සංක්‍රමණය වූ ඇල්ජීරියා ජාතික සිසුවකු පසුව විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ සරණාගතයන් සාදරයෙන් පිළිගන්නා හෝටලයක් සොයා ගන්නා තුරු ඔහු දුම්රිය ස්ථානයක නිදාගත් බවය. අප්‍රිකා රටවලින් යුක්රේනයට පැමිණ සිට බොහෝ සිසු සිසුවියන්ට අත් වූයේ එම ඉරණමය. නොඑසේනම් ඒ හා සමාන ඉරණමය.
යුක්රේනයෙන් ජීවිත බේරා ගනිමින් නැවත සිය මව්බිම කරා යෑමට වාසනාව හා භාග්‍යය අත්වූයේ ආසියා කලාපයේ සිසු සිසුවියන්ට පමණි. එය සිදු වූයේ ඉන්දියාවට පින්සිදු වන්නටය.
ඉන්දීය රජය වහා යුක්රේන දේශසීමා ආසන්නයේ පිහිටි රටවල් කරා සිය නියෝජිතයන් යවමින් යුද අරගලයට කොටු වී සිටි ඉන්දීය සිසු සිසුවියන් නිරුපද්‍රිතව නැවත මව්බිමට රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. යුක්රේනයේ නිල ඇස්තමේන්තුවට අනුව  එරට වෛද්‍ය විද්‍යාව හදාරන 76,000ක් පමණ වන විදෙස් සිසු සිසුවියන්ගෙන් සියයට 25ක ප්‍රමාණයක් ඉන්දීය ජාතිකයෝ වූහ. 
යුද්ධයේ මුල් කාලීනව රුසියා මිසයිල ප්‍රහාර දකින්නකුට නිසැකවම මිසයිල වරුසාවක් දැක බලාගැනීමේ අභාග්‍යයට මුහුණ පෑමට සිදු විය. ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් ඔවුන් යුක්රේනයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වූ අතර. ඉන්දීය ජාතිකයන්ට අමතරව ඉන්දියාවේ පසමිතුරා වන පාකිස්තානයේ සිසු සිසුවියන් ද, නේපාල, බංග්ලාදේශය ඇතුළු තවත් රටවල් රැසක සිසු සිසුවියන්ට නිරුපද්‍රිතව නැවත නිවාස කරා පිටත් කිරීමට අවශ්‍ය කටයුතු පිළියෙළ කර තිබිණි.
විදෙස් සිසු සිසුවියන් මුදා ගැනීමේ මේ කිසිදු සැලසුමකට යුක්රේන හෝ රුසියා රජයේ සහයෝගය නොලැබිණි. යුද ගැටුම් ආරම්භයත් සමඟ ලොව පුරා අතිශය ජනප්‍රිය චරිතයකට බවට පත් වූ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි දෛනිකව ප්‍රකාශ දුසිමකට වඩා අන්තර්ජාලය තුළ මුදා හරිනු ලැබුව ද, අද දක්වා එරට අධ්‍යපනය හදාරමින් සිටි විදෙස් සිසු සිසුවියන් අරභයා කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළේය.

එවැනි පසුබිමක් තුළ මේ යුද අරගල කෙදිනක හෝ නිමාවට පත්ව, යුක්රේනය නැවත පෙර තිබූ තත්ත්වයට ගොඩ නැංවීමට කිසිවකු සමත් වූවත්, නැවත විදේශීය සිසු සිසුවියන් ගෙන්වා ගැනීමට නම් අපහසු වනු ඇත.