රත්තරන් හොරෙන් ගේන්නේ මෙහෙමයි

නවතම ආකාරයකට රත්තරන් වංචනිකව මෙරටට ගෙන එන ආකාරයක් සොයා ගැනීමට රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් සමත්විය.

ඒ අනුව අද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ක්‍රෙඩිට් කාඩ් ලෙස සැකසූ රුපියල් කෝටි 11 කට අධික වටිනා රන් තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අල්ලා ගැනීමට එම පිරිස සමත් විය.

කැරට් 24 රත්තරන්වලින් නිමවන ලද රන් භාණ්ඩ මෙරටට ගෙන ඒම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද පළ කර ඇතත්, විවිධ බැංකු විසින් නිකුත් කල ක්‍රෙඩිට් කාඩ් ලෙස පෙනී යන ආකාරයෙන් නිමවන ලද කාඩ්පත් ලෙසින් මේවා ගෙන ඒමට එම කාන්තාව උත්සාහ දරා තිබේ.
ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකාරිය කටුනායක තොටුපළේදී හසුව ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක පැමිණි අවස්ථාවේදීය .

ශ්‍රී ලංකාවට රත්තරන් තොගයක් නීතිවිරෝධීව මේ ආකාරයට ගෙන ආ පළමු අවස්ථාව මෙය බව රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පවසයි .