- ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වෘත්තීය සමිති සාමාජිකයන්ට කියයි

ශ්‍රී ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රසාදය පළ කර ඇති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ, වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පසුගිය දා පැවති සාකච්ඡාවට එක් වෙමිනි .
උපයන විට අයකරනු ලබන බද්ද ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් 08 හා 09 දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැණිනි.
ආර්ථිකමය වශයෙන් රට පත්ව ඇති තත්ත්වය තේරුම් ගෙන අත්‍යවශ්‍ය සේවාවන් හා අනෙකුත් සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති නායකයින් ලෙස කටයුතු කරන ලෙස ද සාගල රත්නායක මහතා වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.
බදු පැනවීම නිසා වෘත්තිකයන් පත්ව ඇති අපහසුව රජය තේරුම් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය.
එම නිසා වෘත්තීය සමිති නායකයින් ලෙස රට අස්ථාවර කරන කිසිදු උත්සාහයකට සම්බන්ධ නොවන ලෙස ඉල්ලා සිටි සාගල රත්නායක මහතා එසේ වුවත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇති බව ද සඳහන් කළේය.
තම මාසික ආදායම් මත අයකරනු ලබන බදු ප්‍රතිශතය නිසා එදිනෙදා වියදම් සහ ගෙවිය යුතු බැංකු ණය වාරික කළමනාකරණය කර ගත නොහැකි බවත්, වැඩි වන විදුලි බිල්පත නිසා එය තවත් උග්‍ර වී ඇති බවත් වෘත්තීය සමිති නායකයින් මෙහිදී පෙන්වා දුන් අතර උපයන විට බදු අය කිරීමේ ප්‍රතිශතය සංශෝධනය කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම රජයේ බදු දැලට හසු නොවූ පිරිස් තවමත් සිටින බැවින් ඔවුන්ව සොයා බදු හය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නම් රජයට විශාල බදු ආදායමක් උපයා ගත හැකි බවද වෘත්තිය සමිති නායකයෝ මෙහිදී පෙන්වා දුන්හ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක,
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්.එස් සමරතුංග, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සභාපති මොහොමඩ් උවයිස්, ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් සී පෙරේරා, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ,ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීර්ති බර්නාඩ්, ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන්, රාජ්‍ය බැංකුවල සාමාන්‍යධිකාරීවරුන් හා රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති නියෝජිතයින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින් මේ සඳහා එක්ව සිටියහ.