
“සරු පස දිලේ පීදෙන ගොයමක් සේම
මසුරන් දෙරණ ආකාසේ තරු සේම
අද නොවෙහෙසා බඩ කට පුරවමු කෝම
නොඉඳින් මලේ අත පොරවා හැමදාම..”
අත වෙහෙසා ගොවිතැන් කර අටු කොටු පුරවා අස්වැන්න නෙළාගෙන ඒ හරහා අපමණ සතුටක් ලබන අභිමානනීය තරුණයකුයි මේ ඡායාරූප වල සිටින්නේ. ඔහු නමින් නිහාල් රණසිංහ. පසුගිය දිනවල රට පුරා කාබනික වගාව පිළිබඳව අවධාණය යොමු වුණේ රජය විසින් රසායනික පොහොර තහනම් කිරීමත් සමඟයි.ගොවීන්ගේ විරෝධතාවයන් ද දැන් සුලබ දසුනක් බවට පත්ව තිබෙනවා. එසේ තිබියදී මේ වනවිට ලෝකයේ රටවල් 187 ක් කාබනික වගාවට යොමු වී තිබෙන බවත් සඳහන් කළ යුතුයි. දත්ත වාර්තාවලට අනුව ලොව ප්‍රමුඛතම කාබනික ආහාර නිපදවන රට වන්නේ ඉන්දියාවයි. අසල්වැසි රටේ තත්වය එලෙස තිබිය දී කාබනික වගාව ලංකාව තුළ සාර්ථකව ජනතාව අතරට ගෙනයාමේදී ගැටලු රැසක් පැවතුණද එය නිවැරැදි ආකාරයට සිදු කර සාර්ථක ප්‍රථිපල ලබාගත් අය ද සිටිනවා.1981 වසරේ ඉපිද පරම්පරාවෙන් ම ගොවිකම උරුම කරගත් නිහාල් රණසිංහ යනු එවැනි කාබනික වගාව තුළින් සාර්ථක වූ තරුණ ගොවි මහතෙක්.
ඔබ කාබනික වගාව ආරම්භ කළේ කොයි කාලෙද.?
2014 දි තමයි මම කාබනික වගාව පටන් ගත්තේ. ගොවියන් විදිහට මේ රසායනික පොහොර භාවිතය නිසා අපේ ඇඟටත් ලොකු අපහසුවක් දැනෙනවා.ඊට අමතරව එයින් ගොඩක් සත්තු මැරෙනවා. වකුගඩු රෝග හැදෙන්නත් හේතුවක්. රසායනික පොහොර පාවිච්චි කරනකොට ගැඩවිලෙක්වත් පොළවේ ඉන්නේ නෑ.මේ හැමදේත් එක්ක තමයි 2014 වර්ෂයේ දී කාබනික ගොවිතැනට මම අවතීර්ණ වෙන්නේ.
කෘමිනාශක සහ වල්නාශක වෙනුවට ඔබ යොදන උපක්‍රම මොනවද.?
වගාවේදී පොහොර යෙදීම නෙමෙයි ඇත්ත වශයෙන්ම අපි කරන්නේ.පොළව සාරවත් කිරීම.ගහක් හැදෙන්න මූලික වශයෙන් අවශ්‍ය කරන සංඝටක දාසයක් තියෙනවා.මේ සංඝටක කාබනිකව හෝ රසායනික හෝ යොදන්න පුළුවන් නම් ශාකයක් හැදෙනවා.ඵලදාව ලබා ගන්නත් පුළුවන්.වල් පැළ මර්දනය කිරීමට අපි උදලු ගෑම තමයි සිද්ධ කරන්නේ .එයින් එකතු වෙන දේවලුත් අපි කාබනික වගාවට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොදා ගන්නවා.
එලෙස නෙලාගන්නා ඵළදාව අලෙවි කරන්නෙ කොහොමද ?
මං වගා කරන දේවල් අපේ වගා භූමියට ම ඇවිල්ලා මිලදී ගන්න පිරිසක් ඉන්නවා. වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයත් ඉංජිනේරුවරුන් වැනි විවිධ වෘතිකයන් තමයි බොහෝ දුරට ඒවා අරගෙන යන්නේ. කුලියාපිටිය උඩුබද්දාව, මහියංගනය වැනි ප්‍රදේශ කීපයකම දැනට වගා කටයුතු සිදුකරනවා.මම මේ සඳහා පුතා සහ බිරිඳගෙ සහයෝගය ලබා ගන්න ගමන් කුලියටත් සේවකයන් යොදා ගන්නවා.
රජයෙන් ක්‍රියාත්මක කාබනික වගා ව්‍යාපෘති වලදී අදාල අංශ ඔබව සම්බන්ධ කරගත්තද.?
කාබනික වගාව සම්බන්ධයෙන් පළමු youtube නාලිකාව 2014 වර්ශයේ ආරම්භ කළේ මම. නමුත් රජයෙන් මගෙන් ඒ පිළිබඳව විමසීමක් කළේ නෑ. කිසිම නියෝජිතයෙක් හෝ කිසිම කමිටුවකින් කාබනික වගාවක් සාර්ථකව ගන්නේ කොහොමද කියල ඇහුවෙ නැහැ.
කාබනික වගාව කරන්න අපහසුයි කියල ගොවීන් කියන්නෙ දැනුමක් නැතිකම නිසාද නැත්නම් රැල්ලටද.?
මම මහියංගණයට ගොවිතැන් කරන්න ගියාට පස්සෙ ඒ පැත්තෙ හිටපු ගොවීන්ගෙන් ඇහුවා ඔවුන් කාබනික වගාව කරන්නේ නැත්තෙ වගා කරල බලලද කියල. ඇත්තටම රැල්ලට වගේ තියෙන මතයත් එක්ක තමයි ඔවුන් කාබනික වගාව කරන්න බැහැ කියන්නෙ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අවුරුදු දහයක් විතර එක දිගටම රසායනිකව වගාවන් කළ භූමියක එකවරම කාබනික වගාවක් ආරම්භ කළොත් වසර දෙකක්වත් යනකම් අපිට අපේක්ෂිත අස්වැන්නක් ලබාගන්න පුළුවන් වෙන්නේ නෑ.මොකද පසේ ඉන්න ශුද්‍රජීවීන් ප්‍රමාණය අඩුයි. රසායනික පොහොර යෙදීමත් එක්ක පසේ තියෙන ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා.ඒ වගේම ගොවිතැනට වඩාත් හිතකර ගැඩවිලා වැනි සත්වයින් විනාශ වෙනවා.ඉතිං ඒ නිසා පස සාරවත් කරගන්න යම් කාල පරාසයක් ගතවෙනවා .අඩුම තරමෙ මාස හයක වගේ කාලයක් ඒ සඳහා ගතවෙනවා. දෙවතාවක් තුන් වතාවක් විතර කාබනික පොහොර යොදලා වගාවක් කරාම තමයි සාර්ථක අස්වැන්නක් ලබාගන්න පුළුවන් වෙන්නේ.
ඒ කියන්නෙ ලංකාවෙ කාබනික වගා ව්‍යාපෘතිය අසාර්ථක වුණේ ක්‍රමවේදයේ වැරැද්ද නිසාද.?
ඇත්තටම.ව්‍යාපාරික මට්ටමෙන් වගා කරන ගොවියෙක්ට නම් සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරක් විතර භුමියක් තියෙනවා. රජයට කරන්න තිබ්බේ ඒ ඉඩමෙන් අක්කර භාගයක විතර ප්‍රමාණයක් කාබනික පොහොර වගාවට යොමු කරවන්න.ඊට පස්සේ අවශ්‍ය කරන දැනුම ගොවියන්ට ලබාදෙන්න.ඇත්තටම දැන් අස්වැන්න අඩු වීමක් තියෙන්නෙ නිසි ක්‍රමවේදයට මේ වගාව කරපු නැති හින්දා. දැන් කැලේ හැදෙන ගහ කොල සරුවට වැවෙන්නෙ පසේ සාරය උරාගෙන මිසක් රසායනික පොහොර දාලා නෙමෙයිනෙ.
කාබනික වගාවේදී පොහොර වැඩි වශයෙන් භාවිතා කළ යුතු බවටත් පහුගිය කාලෙ ගොවීන් ප්‍රකාශ කළා.එහෙම වෙන්නෙ ඇයි.?
ඕක මම ප්‍රායෝගිකව පැහැදිලි කරන්නම්.කාබනික පොහොර අපි එක දිගට අවුරුද්දක් පොළොවට එකතු කරන ගොවි බිමක් කියල අනුමාන කරමු.අක්කරේට කිලෝ දාහක් මුලින් යොදනවා කියලා හිතුවොත් ඒක දෙවෙනි කන්නය වෙනකොට කිලෝ අටසීයක් දක්වා අඩු කරගන්න පුළුවන්.ඒ වගේ ක්‍රමක්‍රමයෙන් අවුරුද්දක් හමාරක් යනකොට කාබනික පොහොර භාවිතා කරන එක ගොඩක් අඩු කරන්න පුළුවන්.හැබැයි මුලින් පොහොර වැඩි ප්‍රමාණයක් අපිට වගාවට පාවිච්චි කරන්න වෙනවා.ඒ වගේම බොහෝ දෙනෙක් දන්නෙ නැහැ කාබනික පොහොර භාවිතයේදී කෘමි හානි පවා අඩු වෙනව කියලා.

ඔබේ මේ කෘෂිකාර්මික දැනුම සමාජගත කරන්නෙ කොහොමද.?
දැනට agriculture nihal ranasingha youtube චැනලය සහ nihal ranasingha ෆේස්බුක් පිටුව ඔස්සේ දනුම බෙදා දෙනවා.ඒ වගේම කවුරුහරි වැඩසටහනක් සංවිධානය කරල මට ආරාධනා කළොත් මම සම්බන්ධ වෙනවා.
ඔබ සමාජයට ලබා දෙන පණිවිඩය මොකක්ද .?
වසර 2500ක ඉතිහාසයක් තියෙන අපේ රටේ 1935 වසරෙන් විතර පස්සෙ තමයි රසායනික පොහොර භාවිතා කරල වගා කරන්න පටන් ගත්තේ.ඒ වන තෙක්ම ලංකාවෙ කළේ කාබනික කෘෂිකර්මාන්තය. මුලින්ම යූරියා පොහොර ලබා දීලා තියෙන්නෙ නොමිලේ. එහෙම වසර පනහක් පමණ රසායනික පොහොර දැමීම නිසා පොළව ඒකට හුරු වීමෙන් පොළොව නිසරු වෙලා තියෙන්නෙ.ඒ වගෙම ගොවි ගම්මාන ආශ්‍රිතව කුඩා දරුවන්ගෙ අක්ෂි ආබාධ වගේම වකුගඩු රෝගත් වැඩියි කියල වෛද්‍යවරු කියනවා. ඉතින් වස විසෙන් තොරව කාබනිකව ගොවිතැන් කරලා අස්වැන්නක් ලබාගෙන ආදායමක් ලබාගන්න කියන පණිවිඩය තමයි මම ලබා දෙන්නේ. ඒ වගේම ඉඩක් නැහැ වෙලාවක් වෙන් කරගන්න බැහැ කියල නොහිත උත්සහවන්තව තමන්ගෙ ගෙවත්තේ හෝ නිවසට අවශ්‍ය එළවළු ටික වගා කරගන්න කියන පණිවිඩය මම ලබා දෙන්න කැමතියි.
නිසංසලා සංගීතා සමරතුංග