“රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්තොත් ඊට එරෙහිව රජය තදින් ක්‍රියා කරනවා”

  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතමින්

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල ප්‍රගතිය රටට පැහැදිලි කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

“ආර්ථික ප්‍රතිසංස්කරන වැඩපිළිවෙළ කඩාකප්පල් කළ හොත් දැනට 2022 පෙබරවාරි මාර්තු පැවති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු වේවි.

එවකට බොහෝ අය කල්පනා කළා වැටුප් නැති වෙයි, විශ්‍රාම වැටුප නැති වෙයි, රැකියා නැති වෙයි, කර්මාන්ත වැසී යාවි, තැපැල් හැමදාම වැසිලා තියේවි ආදි වශයෙන්. ඒවා යම් තරමකට ප පාලනය කර ගෙන තිබෙනවා.

නමුත් සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙළ විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩා කප්පල් කළ හොත් එයින් මතු වන සමාජ විකල්ප අතිශය භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතු වේවි.”

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ, පොහොර ලබා දීමත් සමඟ යල සහ මහ දෙකන්නයේ සාර්ථක අස්වැන්නක් රටට ලැබුණු බවත්, 2022 ජූනි මාසයේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් ආර්ථික ගැටලුවලට යම් දුරකට විසඳුම් ලබාදී ඇති බවත්ය

“IMF ආයතනය සමඟ පවතින එකඟතාවය කඩා දැමුව හොත් විදේශ රටවලින් හා පෞද්ගලික බැංකුවලින් ලබා ගත් ණය ගෙවීමට සිදු වෙනවා. අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නැහැ. එම නිසා අපට IMF ආයතනය මැදිහත් වී විදේශ ණයකරුවන් සමඟ එකඟ වූ ණය තිරසරභාවය පිළිබඳ කතිකාව දිගින් දිගටම ගෙන යා යුතුයි.

එයට විකල්ප මාවතක් වර්තමානයේ දක්නට නැත. එබැවින් IMF ආයතනය සහ අප සිදු කරන මෙම එකඟතා අපගේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට පවත්නා විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවක් බැව් මතක් කර දීමට හැකියි.

2022 දී රටේ පැවති අහිතකර තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය අසාර්ථකත්වයට පත් වුණා. කෙසේ වෙතත් මේ වසරේ තත්ත්වය යහපත් අතට හැරෙන බවට ඉඟි පළවෙමින් පවතිනවා” යැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම, අඛණ්ඩ විදුලිය, ගොවීන්ට පොහොර, සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා අතිරේක මුදල් ලබා දීම ආදි විවිධ ක්‍රියාමාර්ග රජය ක්‍රියාත්මක කළ බවත් කලින් ක්‍රියාත්මක කරන ලද හදිසි බදු කප්පාදුව රජයේ ආදායම අඩු වීමට හේතු වූ බැවින් බදු ආදායම වැඩිදියුණු කිරීම සඳහා 2019 දී ක්‍රියාත්මක කරන ලද බදු ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය අතිශය දුෂ්කර ආර්ථික ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත්, ආර්ථික වර්ධනය තහවුරු කිරීමට දැන් කටයුතු කරමින් සිටින බවත්, සමාජයේ සෑම දෙනකුටම මෙමඟින් ඇති වන පීඩා දිගටම පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.

චීන එක්සිම් බැංකුවෙන් රජයට මූල්‍ය සහතික ලිපිය ඊයේ රාත්‍රියේ ලැබුණු බවත් මහ බැංකු අධිපතිවරයාගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් එකඟතා ලිපිය එදිනම රාත්‍රියේම IMF වෙත යැවූ බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය-

මහජනයාගේ භාෂණයේ අයිතිය පිළිගත් ජනාධිපතිවරයා, ඕනෑම ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවකට මුහුණ දීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, තවත් ජූලි 09 වැනි දින රට තුළ ඇති වීමට ඉඩ නොතබන ලෙසත් ඉල්ලා සිටි අතර රට තුළ අරාජිකත්වය වැළැක්වීම සඳහා කැප වූ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ස්තූතිය පුද කළේය.

පාර්ලිමේන්තුව අමතමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළ ජනාධිපතිවරයා, රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බවටත් පාර්ලිමේන්තුව අමතමින් සහතික විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට එළැඹුණු පසු එම ගිවිසුම, රජයේ ඉදිරි සැලසුම් සහ මාර්ග සිතියමේ කෙටුම්පත සමඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහතික විය.