යුක්රේන මරියුපොල් නුවරින් අභිරහස් මළසිරුරු 200ක්


යුක්රේන හමුදා නිලධාරියකු ඊයේ ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපය ඇතුළත දරුණු සටන් ඇවිළී ගිය මරියුපොල් නගරයේ සුන්බුන් අතර කැණීම් කටයුතු සිදු කරමින් සිටි කම්කරුවන් මළ සිරුරු 200ක් සොයාගෙන ඇති බවය.  මේ මළ සිරුරු කඩා වැටුණු ගොඩනැගිල්ලක බිම් මහලේ සුන්බුන් අතර එම මළ සිරුරු තිබී ඇති අතර, ඒවා හඳුනාගත නොහැකි පරිදි දිරාපත් වීමෙන් සහ නරක් වීමෙන් විනාශ වී තිබූ බව ද වාර්තා වේ. එම මළසිරුරු සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන්නේදැයි යන්න මෙතෙක් තහවුරු වී නැත.
බර අවි වැඩිපුර සපයන ලෙස යුක්රේනය සිය මිත්‍ර පාක්ෂිකයන් වන අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ඉල්ලා සිටියේය. නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ දරුණු සටන් ඇවිළෙමින් තිබෙන අතර, මේ සටනට මුහුණ දීමට ප්‍රමාණවත් අවිආයුධ නැති බව යුක්රේනය බටහිර රටවලට කියා සිටියේය.
රුසියා – යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් යුක්රේනයට පිරිනැමූ ආයුධ තොග ටොන් ගණනක් වන අතර, තව දුරටත් අවි ආයුධ සැපයීම සම්බන්ධව පසුගියදා අමෙරිකාවේ සෙනෙට් සාමාජිකයන්ට විරුද්ධත්වය පළ කර තිබිණි.  රුසියා මෙන්ම යුක්රේන හමුදා ප්‍රහාරවලින් ද සිවිල් වැසියන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.