මෙරටට හරිත ආර්ථික ප්‍රතිපත්තියක්

හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු තැනට පැමිණි අයුරින් හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද මුල් තැනට ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගි වීමට මෙරටට පැමිණි ආයෝජකයින් සමඟ ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, හරිත ආර්ථිකයට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස මෙරටට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බවය. මෙහිදී මෙරටට ප්‍රධාන ගැටලු දෙකක් පවතින අතර ඉන් එකක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව බව ද, අනෙක් ප්‍රධාන ගැටලුව හරිත බලශක්තිය සඳහා රට යොමුකිරීම බව ද පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින අතර රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැඟීමට කඩිනමින් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කර තිබේ.

හරිත ආර්ථිකයක් සඳහා යොමු වීමට ශ්‍රී ලංකාවට සෑම සුදුසුකමක්ම පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ සූර්ය, සුළං, ජීව වායු මෙන්ම මුහුදු රළ උපයෝගී කර ගනිමින් බලශක්තිය නිපදවීමට හැකියාව පවතින බව ද සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාර්කෝ සෙගොන් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසි සාකච්ඡා කර ඇති අතර එහිදී මෙම අදහස් පළ කර ඇත.