මැතිවරණයෙන් පසු සමෘද්ධි කපන සැලැස්මක්

  • සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුර බණ්ඩාර ආරියරත්න

සමෘද්ධි ව්‍යාපාරය බරපතළ අර්බුදයකට ලක් වෙලා තියෙනවා. 1758000 පමණ වන සමෘද්ධිලාභීන්ගෙන් ලක්ෂ හතරහමාරකගෙන් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රුපියල් 500 බැගින් සහනාධාර කපල තියෙනවා. 2019 රනිල් වික්‍රමසිංහ අගමැති විදිහට තමන්ගේ දේශපාලන වේදිකාවට එක්සත් ජාතික පාක්ෂිකයො කැඳවා සහනාධාර බෙදලා එයා ජනාධිපති වුණාට පස්සේ ඒ ජනතාවගේ ඇඳුම් ගලවලා තියෙනවා යැයි සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුර බණ්ඩාර ආරියරත්න මහතා පසුගිය දා කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය. අප්‍රේල් මාසෙ රුපියල් 500 ක් කපාගෙන තමයි ජනතාවට ආධාර දුන්නේ. ජනතාව අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්න මේ මොහොතේ ඒ ප්‍රජාව බේරා ගැනීම වෙනුවෙන් 13 දා සිට පාරට බහින්න අපි සූදානම්. ඊළඟට ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ආණ්ඩුව සහනාධාර සංශෝධනයකට මුල පුරමින් ඉන්නවා. සමාජ සුභසාධන මණ්ඩලය ජනතාවට වැඩියෙන් සහනාධාර දෙන්න ඕන බව කියලා ප්‍රචාරයක් ගෙනියනවා. නමුත් මැතිවරණයකින් අනතුරුව 60% කින් සහනාධාර කපනවා. සුභසාධන මණ්ඩලයට ඇත්ත සමීක්ෂණයක් කරන්න තරම් වුවමනාවක් නැහැ. මේ කරන්නේ බොරු රඟපෑමක්. ඊට අපි දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරනවා.

රජයේ වෘත්තිකයන් කණ්ඩායම් ගණනාවක් එකතු වෙලා සමාජ සුභසාධන පනතට එරෙහිව සඳුදා සිට ලංකාවේ තෝරාගත් ස්ථානවල විරෝධතා ව්‍යාපාරය පටන් ගන්නවා. මේකට හේතුව තමයි පනතේ 20 වගන්තියෙන් ප්‍රතිලාභීන්ට දඬුවම් දෙනවා. 21සහ 22 වගන්තිවලින් මේ සමීක්ෂණය කරන නිලධාරීන්ට දඩුවම් දෙන්න යනවා. අපි ආයතන සංග්‍රහයේ මුදල් රෙගුලාසි වලින් වගේම රීති සංග්‍රහයට රාජ්‍ය නිලධාරින් සියලුදෙනා යටත්. ඒ නිසා සමාජ සුභසාධන පනත හෝ වෙනත් ආයතනයකින් අපිව පරිපාලනය කරන්නේ එනවා නම් අපි දැඩි ලෙස විරුද්ධ වෙනවා. සමාජ සුභසාධන මණ්ඩලයේ සභාපතිවරයාට අපි කියනවා ඔබට බයේ අපි කවදාවත් වැඩ කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි කියනවා ඔබ මේ මොහොතේ ජනතාවට රවට්ටන කුමන්ත්‍රණයෙන් ඈත්වෙන්න. රුපියල ශක්තිමත් වුණා කියලා රුපියල පෙන්න පෙන්න බොරු කරනවා. සමෘර්ධි නිලධාරීන් ඇතුළු වෘත්තිකයන්ට මර්දනය දියත් කරනවා. රුපියල ඒ තරම් ශක්තිමත් නම් රාජ්‍ය සේවකයා පිළිබඳව බලන්න ඕන.

පනතේ 21, 22 වගන්තිවලින් නිලධාරියාට අභියෝග කරනවා. නිලධාරීන්ට දඬුවම් කරනවා. අපි ඒකට විරුද්ධ වෙනවා විතරක් නෙවෙයි 1758000 ක් පමණ වන ප්‍රතිලාභී ජනතාව අනිකුත් සියලු ප්‍රතිලාභින් සමඟ ඉල්ලුම් පත්‍ර 3721000 ක් වෙනුවෙන් පෙනී සිටිනවා. සමීක්ෂණ නිලධාරීන් ට ගෙවන්න විතරක් කෝටි 116 ක් ඕන. සමීක්ෂණය අවසන් වන විට කෝටි 130 විතර අවශ්‍යයි. ඒ වැය වන මුදල් යොදවන්න ජනතාවට මේ මොහොතේ ආධාර උපකාර කරන්න.

මැතිවරණයක් එනකොට සමෘද්ධි දෙමින් මැතිවරණ ව්‍යාපාරය කරනවා. මැතිවරණය අවසන් වූවාම සියල්ල අමතකයි. රනිල් වික්‍රමසිංහ IMF යෝජනා ඉදිරියේ ගමේ ඉන්න සමෘද්ධි නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් හරහා සමෘද්ධි ප්‍රතිලාභීන් කපන්න යෝජනා කරනවා. අපි කොහෙත්ම ඒ සඳහා සූදානම් නැහැ. අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සූදානම්.

කුරුණෑගල අනුර ජයන්ත දිසානායක