මහ රෑ මහියංගනය දෙවනත් කරන වැද්දන්ගේ රහස් පෙරහැර

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් වන වැද්දා පිළිබඳ ඔබ කොතෙතුත් කතාන්දර අසා ඇත.වැදි ජනතාව ජීවත්වන කොටබකිණිය,රතුගල,නිල්ගල මෙන්ම පොල්ලෙබැද්ද වැනි ප්‍රදේශවල සංචාරවල සහ පර්යේෂණවල නියැලෙන පිරිස් ආදි වාසීන්ගේ ජීවන රටාව පිළිබඳ නොයෙකුත් නිරීක්ෂණ සහ නිගමනවලට එළඹ සිටී.
ඒවා කෙසේවුවද ආදිවාසී ජනතාව තමාගේ පරපුරේ උරුමයෙන් රැකගෙන ආ ඇදහිළි සහ පුදසිරිත් අදටද යම් ප්‍රමාණයකින් ඉටු කරමින් සහ පවත්වමින් සිටිති.ඒවායින් ඇතැම් උත්සව සහ ඇදහීම් ප්‍රසිද්ධියේ සිදු කරනු ලබන අතර ඇතැම් උත්සව රහසේ පැවැත්වීමට ඔවුහු වගබලා ගනිති.
කිරිකොරහා නැටීම,මල යකුන් ඇදහීම,කිරි අම්මා පිදීම වැනි පරම්පරාගත පුද සිරිත් ප්‍රදර්ශනාත්මකව සිදු කළද ඔවුහු රහසේ පවත්වන උත්සවද කිහිපයකි.ඒ අතර සමන් දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන “පුළුන් පෙරහැර එසේත් නැතිනම් වැදි පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

යක්ෂ ගෝත්‍රය

බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයේදී යක්ෂ ගෝත්‍රිකයෝ පෑ විරෝධතාව මෙම පෙරහරෙන් ප්‍රතිනිර්මාණය වෙයි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයේ දී  මහියංගනය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ තම නිජ බිම බවට පත්කොටගෙන ඇත්තේ යක්ෂ ගෝත්‍රික ජනතාව විසිනි. ‍යක්ෂ යනු එක් ගෝත්‍රයකි.ජන කණ්ඩායමක් සඳහා යෙදූ විශේෂණ නාමයකි.විහාර බිතුසිතුවම්වල සිත්තම් කළ මනංකල්පිත් රූපයක් සහිත දරුණු මිනිස් කොට්ඨාසයක් නොවූ යක්ෂ ගෝත්‍රිකයන් එදා එම ප්‍රදේශවල විසූ සාමාන්‍ය ජන කොටසක් බව ආදිවාසී නායන ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසති.  යකුන් ඇදහූ මිනිසුන්ගෙන් සැදුම්ලත්  ගෝත්‍රය යන  කාරණාව පදනම් කොටගනිමින් මෙම නම පටබැඳුණු බව ඔහුගේ පැහැදිලි කිරීමයි.

පුළුන් පෙරහැරේ ඉතිහාස කතාව.

එදා බුදුරජාණන් වහන්සේ එසේත් නැතිනම් ආදිවාසීනට අනුව බුද්ධිලැත්තො මහියංගණයට වැඩම කළ සමයේ මෙම ප්‍රදේශය පාලනය කරන ලද්දේ සුමන නම් පාලකයෙකු (ජනප්‍රවාදවලට අනුව සුමන සමන් දෙවියන්) විසිනි.

ඔහුගේ ආරාධනාවට අනුව  බුදු රජාණන් වහන්සේ මහියංගනයට වැඩම සිදුව තිබේ.මෙසේ නොහඳුනන අයකු තමාගේ දේශයට පැමිණීම පිළිබඳ යක්ෂ ගෝත්‍රිකයන් කලබලයට මෙන්ම කුතුහලයට පත්ව ඇත.බුදුරජාණන් වහන්සේ  තමන්ගේ ප්‍රදේශ අල්ලා ගැනීමට පැමිණි අයකු යැයි සිතූ වැද්දෝ ඒ බව සුමන සමඟ සාකච්ඡා පවත්වා ඇත.එහිදී මේ පැමිණි පුද්ගලයා බුද්ධිලැත්තන් බව පැවසුවද කිසිත් නොදන්නා වැද්දෝ ඔහුගේ කීම සහ පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කරමින් කැරළි ගසා ඇත.

තමා නොදන්නා පුද්ගලයා එළවා දැමීමේ උපක්‍රමයක් පිළිබඳ සැලසුම් කළ  යක්ක ගෝත්‍රිකයෝ ඇ‍ඟේ මී පැණි තවරාගෙන, කෙසෙල් පරඬලා ඔතාගෙන දිග රිටි මුගුරු රැගෙන බුදු රජාණන්වහන්සේගේ සිටි ස්ථානයට පැමිණි බව ඉතිහාසය කතාවේ කියවෙන බව ආදිවාසී නායකයා පවසයි
ඉන් පසුව විවිධ උපක්‍රම යොදා ගනිමින් මෙම ආගන්තුකයා එළවා දැමීමට කටයුතු කළද එය සාර්ථක නොවීය.අවසානයේ බුදු රජාණන්වහන්සේගේ මෙම පිරිස සමඟ කතා බහ කළ බවත් පසුව යක්ක ගෝත්‍රිකයන් එම කරුණු පිළිබඳ පැහැදුණු බවත් ඉතිහාසය කතාවේ කටවහරින් පැමිණ තිබේ.

අද වනවිට මහියංගනය මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්ලය සමඟ ආදිවාසීන් පවත්වනු ලබන රහස් පෙරහැරේ නිරූපණය කරනු ලබන්නේ මෙම කතාංගයයි.

පෙරහැර පැවැත්වීම

වැදි පෙරහර සඳහා වැදි ජනතාව පෙරදා රාත්‍රියේ දේවාල බිමට පැමිණේ. වනාන්තරයෙන් කපාගත් දිග කෙළින් රිටි, එකතු කර ගත් මීපැණි, පුළුන් මෙන්ම කෙසෙල් පරඬලා ද රැගෙන දේවාල බිමට පැමිණෙන ආදිවාසීහු දේවාලයට යාබද බිම්කඩ තම තමාගේ නඩයවෙනුවෙන් වෙන්කර ගනිති. ඉන් අනතුරුව ආදිවාසී නායකයා විසින් බස්නායක නිලමේවරයාට මී පැණි පූජා
කිරීම සිදුවෙයි. තමා පෙරහර කිරීමට සූදානම් බව නිලමේවරයාට දන්වා සිටින ආදිවාසී නායකයා තමන්ගේ වරිගපො‍ජ්ජ සමඟ පෙරහරට සූදානම් වන්නේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේදීය.
පළමුව දෙවියන් වෙනුවෙන් බාරයක් පුදන මේ ජනතාව ඉන් අනතුරුව තම සිරුර පුරාම මී පැණි ගල්වා ගනිති. පුරාණ චාරිත්‍රානුකූලව හැම කෙනකුගේම සිරුරේ මී පැණි බිඳුවක් ගැල්වීම සිදුකරනු ලබන්නේ ආදිවාසී නායකයා විසිනි. නායකත්වයෙන් ලද අවසරයෙන් පසුවසියලු දෙනාම සිරුර පුරා මී පැණි ගල්වා ඒ මත පුළුල් අලවා ගනිති. ඇතැමුන් සිරුර වැහෙන සේ කෙසෙල් පරඬලා ඔතා ගනිති. ඉන් පසුව තම තමන් විසින් සකසා ගත් පිරිසුදු දිග රිටි අතට ගන්නා වැදි ජනතාව මහ පෙරහර නිමාවී වෙහෙර බිමට පැමිණෙන තෙක්ම තමාට වෙන්වූ සීමාවට වී සැඟව කාලය ගෙවති.මහ පෙරහර දේවාල බිමට ගෙවැදී පැයක පමණ
කාලයක් ගතවූ තැන (සාමාන්‍යයෙන් උදෑසන 3.00 ට පමණ) වැදි ජනතාව තමන්ගේ පෙරහර අරඹන්නේ හූ හඬ දෙමින් මොරලමිනි සැඟවී සිටින වැද්දන් එළි බසින්නේ සැවොම අනපේක්ෂිත මොහොතකය. දේවාල බිමේ තැන තැන නිදා
සිටින ජනතාවගේ ඇඟ උඩින් පනිමින් මොරලමින් වැදි ජනතාව දේවාල වීදි අතරේ සීසීකඩ විසිරෙති.
කදිම නාට්‍යෝචිත අවස්ථාවලින් හෙබි වැදි පෙරහර සජීවී රංගනයකට ද සමාන කිරීම වරදක් නැත. විවිධ ඉරියව් පාමින්, අභින කරමින්, රිටි එකිනෙක හප්පමින් ආදිවාසීහු කලහයක වටපිටාව නාට්‍යෝචිතව මවති. දේවාල බිමේ සියලු වීදිවල දුවමින් ඔවුහු අවසානයේ සමන් දේවාලයේ ප්‍රධාන දොරටුව අබියසට පැමිණෙති. තෙවරක් සෑ මළුව වටා පැදකුණු කොට දේවාලය අසලට පැමිණෙන කණ්ඩායමේ නායකත්වය හොබවනු ලබන්නේ ද ආදිවාසී නායකයා විසිනි. තමා අත ඇති රිටි එකිනෙක හප්පමින් හූ කියමින් දේවාලය අබියස රැඳී සිටින ඔව්හු විරෝධතාවය දක්වති. කරකැවෙමින් නටමින් හූ හඬ තලමින් විරෝධතාවය දක්වන රැහේ ජවසම්පන්න අයකු විසින් සමන් දේවාලය වෙත ඊයක් විදිනු ලැබේ. එදා හීයෙන් සමන් දෙවියන්ට (සුමන) විදි
පුවත රඟදක්වන ඔවුහු අනතුරුව දිග රිටි දේවාලය ඉදිරිපස සඳකඩ පහනේ ගසා කඩා දමති. කඩා දැමූ ලී දඬුද රැගෙන මහවැලි ගඟ වෙත දිව යන ඔවුහු ඉන් පිරිසුදුව පැමිණ දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගනිති.රාත්‍රී වැදි පෙරහැර ඉන්  නිමාවුවද උදැසන ආදිවාසීන් විසින් දොඩම් පෙරහැර නමින් තවත් විශේෂ පෙරහැරක් පවත්වති.

දොඩම් පෙරහැර

පුරාතනයේ පටන්ම පැවත එන දොඩම් පෙරහර විජය රජුට දිවි දොස් වැලඳුණ අවස්ථාවේදී එය සමනය කිරීමට වූ බාරය ඔප්පු කිරීමක් බවද කියැවේ. කෙසේ වෙතත් දිය කැපීමේ මංගල්ලයට පෙර පැවැත්වෙන දොඩම්පෙරහර ආදිවාසීන් විසින් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන පෙරහරකි.
ප්‍රථමයෙන්ම බස්නායක නිලමෙවරයා විසින් ලබා දෙන පැණි සහ ඇඹුල් දොඩම් ලබාගන්නා වැදි නායකයා තමාගේ කණ්ඩායමට ඒවා බෙදා දෙනු ලබයි. ඉන් අනතුරුව ඇරඹෙන පෙරහරේදී වැදි ජනතාව බිම නොවැටෙන සේ දොඩම් උඩ දමමින් අල්ලමින් පෙරහැරක් සේ වීදිවල ගමන් කරති. තමන්ගේ විස්මිත හැකියාවන් පෙන්වන ආදිවාසීහු එකඳු දොඩම් ගෙඩියක්වත් බිම නොවැටෙන්නට වගබලා ගනිති.කොටබකිණිය ආදිවාසී රැහේ පිරිමි පාර්ශවයේ සියල්ලන්ම පාහේ මෙම දොඩම් පෙරහැර නියෝජනය කරති.
රට තොට රෝග බිය පහවී අටු කොටු පිරී සශ්‍රීක වන්නට ඔවුන් මෙම පෙරහැරේ දී ආශිර්වාද කරති.

ප්‍රගීත් අසංක ජයසූරිය

මූලාශ්‍ර

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් සමඟ කළ සාකච්ඡා

වැදි ජන උරුමය
ප්‍රියශාන්ත ගුණවර්ධන
ගාමිණී අධිකාරි(නෙප්චූන් ප්‍රකාශන)

දිනමිණ පුවත්පත