මහ බැංකු නව පනත ජනපතිගේ දීර්ඝ කාලීන සැලැස්මක් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකුව සඳහා නව පනතක් ගෙන ඒමට නියමිතය. ජාතික සංවිධාන එකමුතුව අද (09) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ එය රනිල් වික්‍රමසිංහ මහතාගේ දීර්ඝ කාලීන සැලැස්මක් බවත් මහ බැංකුව තමන්ගේ පාලනය යටතේ තබා ගනිමින් තමන්ට ඕනෑ විදියට හැසිරවීමේ හැකියාව ඉන් ලැබෙන බවත්ය.

ජාතික සංවිධාන එකමුතුවේ නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කළේ, රට තුළ තිබෙන විදේශ විනිමය අර්බුදයට වගකිව යුත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා වරින් වර ගෙනආ පනත් බවය.

තවදුරටත් මාධ්‍ය ඇමතූ තිරාණගම මහතා,
“මම දකින හැටියට මේ පනතත් මහ බැංකුව ස්වාධීන කරන්න හදන එකක් නෙමෙයි. මේක මහ බැංකුව තවදුරටත් දේශපාලකයින්ගේ ග්‍රහණය යටතේ පවත්වා ගැනීම සඳහා ගේන එකක්. අලුත් පනතේ තියෙනවා මණ්ඩල දෙකක් පිහිටුවන්න. මේකට බලපෑම් කරන්න බැහැ කියලා කිව්වත්, මේකට පාලකයින් පත් කරන ආකාරය බලන්න. මේකේ පාලක මණ්ඩලයට 07 දෙනෙක් ඉන්නවා. 06 දෙනෙක්ව තෝරන්නේ මුදල් ඇමති. හතර දෙනෙකුට පුළුවන් තීරණ ගන්න. ජනාධිපතිම තමයි මුදල් ඇමතිත්. කොහොමද තත්ත්වේ.”

මේ මණ්ඩලවල ඉන්නවා ආර්ථිකය පිළිබඳ විශාරදයෝ දෙන්නෙක්. මේ විශාරදයෝ කියන්නේ.. බොහෝ වෙලාවට IMF එකේ රස්සාවක් කරලා ඒවා ගැන දැනුමක් තිබෙන..අහුවෙන්නේ නැති විදියට ජනතාවගේ ඇස් වහලා ජාතික සම්පත් කුණු කොල්ලයට ජාවාරම්කාරයින්ට විකුණා දැමීම පිළිබඳ හසල දැනුමක් තිබෙන පුද්ගලයෝ වෙන්න පුළුවන්. මේක ස්වාධීනත්වය නෙමෙයි. මේක කෙළින්ම දේශපාලන ආධිපත්‍යය යටතට මහ බැංකුව ගැනීමේ සැලසුමක්.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දීර්ඝ කාලීන සැලැස්ම වන්නේ මහ බැංකුව තමන්ගේ පාලනය යටතේ තබා ගැනීම. තමන්ට ඕන විදියට හැසිරවීමේ හැකියාව තියෙන්න ඕනේ. මේකත් ඒ සඳහා දරණ උපක්‍රමයක්. ඒක ගැලපෙනවා IMF එකට. මොකද IMF සහ ලෝක බැංකුවේ උපදෙස් අනුව තමයි මෙතුමා ක්‍රියා කරන්නේ. ඒ අයගේ ප්‍රතිපත්තිය නව ලිබරල්වාදී ආර්ථිකයක් ලෝකය පුරා ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා ජාතික සම්පත් විකුණන්න ඕනේ. ඒ නිසා මේක පරාජය කළ යුතුමයි.”

මේක හදිසියේ ගෙනාපු පනතක් නෙමෙයි. මේ වගේ පනත් ගෙන එන්නේ මහ බැංකුව දුර්වල කරලා විදේශ විනිමය කළමනාකරණය මහ බැංකුවෙන් උදුරාගෙන මුදල් ඇමතිගේ අණසක යටතට ගෙනල්ලා මේ රටේ සම්පත් සූරාකෑම සඳහා අවශ්‍ය දොරවල් විවෘත කර දීමට. අද මේ රට මුහුණදී තිබෙන විදේශ විනිමය අර්බුදයට 60%කට වඩා වගකීම දරන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ මහතා.” යැයි ප්‍රකාශ කළේය.