මමත් හරි ලස්සනට ආදරය විඳිනවා

පුංචි තිරය හැඩ කරන නූතන පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක් වන රංගි රාජපක්‍ෂ ප්‍රේක්‍ෂක හදවත් වසඟ කරගත් සුරූපිනියකි. නිරූපණ ක්‍ෂේත්‍රය සිය වෘත්තීය කරගත් ඇය කලකට පසුව වෙළෙඳ දැන්වීම් කලාවට සම්බන්ධ වූවාය. වෙළෙඳ දැන්වීම් 50කට අධික ප්‍රමාණයකට පෙනී සිටි ඇය රංගන ක්‍ෂේත්‍රයට පිවිසියේ රාවණා සහ සල්සපුනා ටෙලිනාට්‍ය ඔස්සේය.

මේ වනවිට ටෙලිනාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායක වී ඇත. චන්දෝලි සහ නොනිමි ටෙලිනාට්‍යයන් තුළින් මේ දිනවල විශාල ප්‍රේක්‍ෂකාදරයක් ලබන රංගි රාජපක්‍ෂ ඇගේ ජීවිතයේ තතු සහ කලා කටයුතු පිළිබඳ නැවුම් තතු බෙදාහදා ගැනීමට මෙවර සුහද පිළිසඳර සමඟ එකතු වුණා.

කොහොමද මේ දිනවල වැඩකටයුතු?

මේ දිනවල තරමක් කාර්ය බහුලයි. මම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය හතරක රූපගත කිරීම් කටයුතු සිදුවෙනවා.

චන්දෝලි ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

චන්දෝලි ටෙලිනාට්‍යයට ඉතාමත් හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙනවා. මට බොහෝ විට ලැබෙන්නේ ඉතාම අහිංසක චරිත. නමුත් චන්දෝලි ටෙලිනාට්‍යයේ මට ලැබුණේ හිතුවක්කාර සහ දඩබ්බර චරිතයක්. චන්දෝලි ටෙලිනාට්‍ය තුළ කිසිදු විටෙක මගේ සිනහවක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

තුෂාරි අබේසේකර වැනි අධ්‍යක්‍ෂවරියක් සමඟ කටයුතු කිරීම මොන වගේද දැනෙන්නේ?

තුෂාරි අබේසේකර වැනි අධ්‍යක්‍ෂවරියක් සමඟ කටයුතු කරන්න ලැබීම ලොකු වාසනාවක්. මම චන්දෝලි ටෙලිනාට්‍යය සමඟ වැඩකටයුතු කරන්නේ හරිම ආසාවෙන්. ඒ වගේම ඇයත් සමඟ හරිම නිදහසේ වැඩ කරන්න පුළුවන්.

නොනිමි ටෙලිනාට්‍යයේ ඔබේ චරිතයට හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙනවා. ආදරණීය අක්කා කෙනෙක්ගේ චරිතයක් තමයි මට ලැබිලා තිබෙන්නේ. නොනිමි ටෙලිනාට්‍යය අධ්‍යක්‍ෂණය කරන්නේ සුරාජ් මාපා.

මේක හරිම ලස්සන විධියට ගලාගෙන යන කතාවක්. ඒ වගේම මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ ‘රාවණා’ ටෙලිනාට්‍ය ඔස්සේ. තුෂාර තෙන්නකෝන් තමයි ‘රාවණා’ ටෙලිනාට්‍යය අධ්‍යක්‍ෂණය කළේ.

මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය තමයි රාවණා කියන්නේ. ‘රාවණා’ ටෙලිනාට්‍ය නැත්නම් මම අද මෙතැන නැහැ. ඉතින් සුරාජ් මාපා සහ තුෂාර තෙන්නකෝන් කියන අධ්‍යක්‍ෂවරු දෙදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.

ආදරය දැනෙන්නේ කොහොමද?

ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. මමත් හරි ලස්සනට ආදරයට විඳිනවා. මට දැනෙන විධියට ප්‍රශ්න, බාධක මැද හරි සුන්දර විධියට ආදරය ගලාගෙන යනවා.

සිනමාවට එන්න අදහසක් නැද්ද?

සිනමාව කියන්නේ ලොකු ක්‍ෂේත්‍රයක්. මම මේ වෙද්දී සිනමා නිර්මාණ තුනකට සම්බන්ධ වෙලා තිබෙනවා. ශ්‍යාම් ෆර්නැන්ඩුගේ චිත්‍රපටයක් ජනවාරි මාසයේ රූගත කිරීම් සිදු කළා. ඒක හරිම ලස්සන කතාවක්. ඉදිරියේදී ප්‍රේක්‍ෂකයන්ට දැකගන්න පුළුවන් වෙයි.

රටේ පවතින වර්තමාන තත්ත්වයත් සමඟ කලා ක්‍ෂේත්‍රයේ ඉදිරි ගමන මොන වගේ වෙයිද?

කලා ක්‍ෂේත්‍රයේ ඉදිරි ගමන ගැන පොඩි සැකයක් තිබෙනවා. මේ කාලේ හැමෝම ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන්. අපිත් එහෙමයි. අපි විතරක් නෙවෙයි නිෂ්පාදකවරුන්ටත් මේක අදාළයි. අපිට ඉස්සර තිබුණු පහසුකම් එක්ක වැඩ කළා වගේ දැන් වැඩකටයුතු කරන්න හරි අමාරුයි.

රටේ පවතින තත්ත්වයත් සමඟ ඉදිරියට මොන වගේ දෙයක් වෙයිද කියලා හරියටම කියන්න අපහසුයි. දැනට ඉතින් තිබෙන පහසුකම් සමඟ කලා කටයුතු කෙරීගෙන යනවා. අපි කලාවට ආදරෙයි. කලාව රැක ගන්න ඕනෑ. ඒ නිසා තිබෙන ප්‍රශ්න දරාගෙන, ඉවසගෙන කොහොම හරි වැඩකටයුතු කරගෙන යනවා.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

ඇත්තටම කිව්වොත් ප්‍රවීණයන්ගෙන් මට සෑහෙන සහයෝගයක් ලැබෙනවා. රාවණා ටෙලිනාට්‍යයේදී මාත් සමඟ ශ්‍යාම් ෆර්නැන්ඩු අයියා රඟපෑවා. මම හිතනවා ඒ ලැබුණු සහයෝගය නිසා තමයි මම ඒ චරිතය එතරම් හොඳට කළේ කියලා.

ඒ වගේම සල්සපුනා ටෙලි නාට්‍යයේදී ඇතුළු නම් වශයෙන් සඳහන් කළ නොහැකි වුවත් රම්‍යා වනිගසේකර, දමිතා අබේරත්න ඇතුළු සියලුම ප්‍රවීණයන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ මම හරි වාසනාවන්තයි කියලා. මට හම්බවුණ ටෙලිනාට්‍ය, රංගන ශිල්පීන්, අධ්‍යක්‍ෂවරු වැනි සියලු දේවල් හරිම හොඳයි.

සම්මානයක් ලබන්න බලාපොරොත්තුවක් ඇති නේද?

සම්මානයක් කියන්නේ හැමෝගෙම හීනයක්. මමත් බලාපොරොත්තු වෙනවා කවදහරි දක්‍ෂතම නිළියට හිමි සම්මානය ගන්න. මට දැනට ලැබිලා තිබෙන හොඳම සම්මානය තමයි ප්‍රේක්‍ෂක ආදරය.

ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?

මට අලුත් නිර්මාණ සෑහෙන ප්‍රමාණයකට ආරාධනා ලැබුණා. ඉතින් මම හිතනවා මගේ මොකක් හෝ වාසනාවක් තියෙන්න ඇති. ඉදිරියේදී තවත් අලුත් සහ ලස්සන නිර්මාණයන් තුළින් ප්‍රේක්‍ෂකයෝ හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

චමෝදි පෙරේරා
මව්බිම -හදගැස්ම