මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිසියට කප්පම් දෙන්න හදලා

රුපියල් හැට නම ලක්ෂ හතළිස් නවදහස් පන්සියයක මුදලක් කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු ඊයේ (17) රාත්‍රීයේදී ගාලු මුවදොර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. සැකකරු 29 හැවිරිදි කළුතර උතුර රුක්ගල්බොඩ පදිංචිකරුවෙකි.

මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයා ගත් මුදල් බවට පොලිසිය සැක කරයි. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3 යි මිලිගෑම් 340 ක් එම ලොරියේ අසුන යට තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

කොල්ලුපිටියේ සිට කොටුව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් නවතා පරික්ෂා කිරීමේදී රියැදුරු අසුන අසල රෙදිවලින් සකස් කරන ලද බෑගයක් තුළ මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් තිබී හමුවී ඇති බවත් රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මාළු වෙළෙන්දෙකු බවට පවසා තිබූ බවත් පොලිසිය පවසයි. පොලිසිය රථය නවතා ප්‍රශ්න කිරීමේදී රියැදුරු බියට පත්ව තවත් පුද්ගලයකු සමඟ දුරකථනයෙන් කතා කොට රුපියල් ලක්ෂ 5ක් ගෙන ඔහු මුදා හරින ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.