බැංකු පද්ධතිය ස්ථාවරයි

මහ බැංකු අධිපති කියයි

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේ බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ,

“ඔබ සැම දන්නවා නූතන ව්‍යාපාරික ලෝකයේ බැංකුකරණය වඩාත් අභියෝගකාරී මෙහෙයුමක් බව. නූතන බැංකුකරණයේදී එම අභියෝග විවිධාකාරයි. අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ වුවත්, ලොව පුරා අපට දිනපතා අසන්නට ලැබෙනවා බැංකු පද්ධති මුහුණ දෙන අභියෝග ගැන. මේ නිසයි අපේ වාණිජ බැංකු වුණත් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ආකාරයෙන් යම් ඉඩක් තබා සූදානම් විය යුත්තේ. ද්‍රවශීලීතාව, ප්‍රාග්ධනය සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමු කළ යුතුයි. නියාමනයට ද කෙතරම් වේගයකින් අභියෝගයකදී මැදිහත්විය හැකි ද යන්නත් වැදගත්. අප පසුගිය සතිය තුළත් ගෝලීය බැංකු පද්ධති මුහුණ දුන් එවැනි අවස්ථාවන් දුටුවා. ශ්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ දුෂ්කරතාවන් රැසක් පැවැතුණු අතර මෑත කාලයේ වුවත් එවැනි අර්බුදකාරි තත්ත්වයන් පැවැතුණා. එහෙත් එම අර්බුද හමුවේ වුවුද මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. ඉදිරියේදීත් බැංකු පද්ධතියේ එවැනි ස්ථාවරතාවයක් පවත්වා ගත හැකි බව මට විශ්වාසයි.” යන්නය.