බදු ප්‍රතිපත්තියට එරෙහි වැඩවර්ජන අද සිට

වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට රට පුරා වැඩ වර්ජනවල නිරත වීමට තීරණය කර තිබේ. රජය හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.

මෙම වැඩපිළවෙළේ පළමු පියවර වශයෙන් අද සිට දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නිවේදනය කරයි.

එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතාගේ අදහස වන්නේ වර්ජන ක්‍රියාමාර්ගවලට යොමුවීම තුළින් මේ වන විට රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය තවත් වර්ධනය වෙන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටින්නේ ලබන 13 වන දිනෙන් පසුව වර්ජන ක්‍රියාමාර්ග සඳහා සහාය පළ කරන බවයි. වෘත්තීය සමිතිවල මෙන්ම රජය ද පවතින තත්ත්වය හමුවේ වගකීම් සහගතව කටයුතු කළ යුතු බව ඔහුගේ අදහසයි.