පොලු පහරින් කාන්තාවක් මරුට

මාදම්පේ, සුදුවැල්ල, මිනිපිටිය අසල පිහිටි පොල් ඉඩමකදී කාන්තාවකට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට නිර්නාමික දුරකථන ඇමතුමක් අද (24) මාදම්පේ පොලිසියට ලැබී තිබේ.

හෙලේනාවත්ත පදිංචි හෙට්ටිආරච්චිලාගේ ස්වර්ණමාලා යන කාන්තාව මෙලෙස මරණයට පත් වී තිබේ. ඇය මිනිපිටිය සුදුවැල්ලේ ඇයට අයත් පොල් ඉඩමට යතුරු පැදියකින් පැමිණ තිබෙන බවත් ඒ සමඟම එම ඉඩම අසල පදිංචි මුතුමුණි තාරක ප්‍රසාද් සිල්වා යන අය ද ඇයගේ ඉඩමට පැමිණ ඇති බවත් එහිදී තම ඉඩමේ වොලිබෝල් පිටියක් ඉදි කිරීම ගැන ඇය ඔහු සමඟ බහින් බස් වී ඇත.

එම බහින් බස්වීම දුර දිග යාමෙන් ඔහු පොල්ලක් රැගෙන විත් ඇයගේ හිසට පහර දී ඇති බව මේ පිළිබඳව සිදු කරන ලද පොලිස් පරික්ෂණයේදී අනාවරණය වී තිබේ

ඇය වැටි සිටියදී ලැබුණ නිර්නාමික දුරකථන ඇමතුමක් අනුව පොලිසිය තුවාල කාරිය මාදම්පේ රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී ඇය මිය ගොස් තිබේ.

සැකකරු වන මාදම්පේ සුදු වැල්ල පදිංචි මුතුමුනි තාරක ප්‍රසාද් සිල්වා යන අය අත්අඩංගුවට ගෙන ඇත.

ඒ.යූ. ගුණපාල
හලාවත