පොල් පොල් පොපොල් පොලිනීසියාවෙන් ආව පොල්

“දැන් ඉතින් කාලා හමාරයි අපිට කන්න තිබුණු පොල් සම්බෝලෙටත් හෙනහුරා පාත් වෙලා ඕං”

මීට දශක කිහිපයකට පෙර පොල් ගෙඩියේ මිල ඉහළ ගිය මොහොතක අපේ කඩයට පැමිණි බොහෝ අය පැවසුවේ එසේය. තවත් අය මුවින් නොපැවසුවද ඔවුන්ගේ සිතේ තිබුණේ මෙයම වන්නටද බැරි නැත. ලංකාවේ පොල් මිල ඉහළ යන්නේ ඉහටත් උඩින් ය. පොඩි මිනිසාට කන්නට ඇති පොල් සම්බෝලය රහ බලන්නට සුදුසුකම් ලබන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ සිට ඉහළ ධනවතුන්ය. අපට මතක ඇති කාලයේ පොල් ගෙඩියක මිල ඉහළ ගියේ රුපියල් පහටය. ඒ සමයේ හැටියට එය මහත් කතාබහට ලක්වූ දෙයක් විය. එතැන් සිට ක්‍රමිකව පොල් මිල ඉහළ යන්නට පටන් ගත්තාය. එනිසාම එය මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වන්නට ද කාලයක් ගියේ නැත.

පොල් මිල ඉහළ යන්නට ආරම්භ වන සමයේ අප උන්නේ අනුරාධපුර පැරණි නගරයේ ය. අටමස්ථානය නැරඹීමට යන්නන්ට තිබූ එක්මාර්ගයක් වූයේ අප නිවස ඉදිරිපසින් ඇති මාර්ගයයි. එම මාර්ගය කුට්ටම් පොකුණ, සමාධි පිළිමය හරහා කෙලින්ම වැටෙන්නේ අභයගිරි විහාරයට ය. එම නිසා එම මාර්ගය හැඳින්වූයේ භයාගිරි පාර ලෙසිනි. කලක් යන විට අප සියල්ලෝම අනුරාධපුර නව නගරයට පදිංචියට පැමිණියහ. මල්වතු ඔය ගලා බසින්නේ ඊට මදක් එපිටට වන්නටය. මේ වකවානුවේ සෑම දිනකම පාහේ මල්වතු ඔයෙන් එගොඩ වී පොල් විකුණන්නට පැමිණියේ ලතාය. බොහෝ දෙනෙක් මඟ බලා සිටියේ ද ඔයෙන් එගොඩවී ලාබෙට පොල් ගෙන එන ලතා ගෙන් පොල් මිලදී ගන්නට ය. එයට විශේෂිත ම හේතුව වූයේ ඇය ගෙන එනු ලබන පොල්වල හොර බොරු නැති වීමත්, ඉතා අඩු මිලකට පොල් මිලදී ගත හැකි වීමත් නිසාය.

.

ඒ දෑ කෙසේ වෙතත් හොද්දක් කන්නටත් පොල් උවමනා වුණු රටක මැල්ලුමටත්, කිරි බතටත්, දානයටත්, මඟුලටත්, මල ගමටත් අවැසි වන්නේ පොල්ය. අවම තරමින් පොල්තෙල් පවා නිපදවීමට අත්‍යවශ්‍යම වන්නේ පොල්ය. ඇත්තෙන්ම මේ පොල් ලංකාවට පැමිණියේ කොහෙන්ද? ඒ ලංකාවට ආවේණික ශාකයක් ද? එසේත් නැතිනම් මෙය වෙනත් කොහෙන් හෝ ගෙනැවිත් මෙහි වගා කරන ලද්දක්ද? යන්න සෙවීමට නම් එහි ආ ගිය මුල ගිය තැන් සෙවිය යුතුමය. මේ සියල්ල ගවේෂණය කරන අතරතුරේ දී නොයෙක් ආකාරයේ ගැලපීම් මෙන්ම නොගැලපීම් ද අපට හමු වේ.

‘එදා හෙළදිව’

“මා වාසය කළ නගරයට ඉතා ආසන්නයෙහි කන්ද උඩරට මහ රජතුමාට අයත් වූ ඉතා සශ්‍රික ලෙස වැඩුණු , සිත්කළු පොල් උයනක් විය. මෙහි නිවසක් තනා ගෙන වාසය කරන්නට කලක සිටම මා තුළ ඇති ඇතිවූ ආශාව අතිමහත්ය. එහි ගස්වලින් ලැබෙන පොල් මටම දෙන ලදී”
මෙසේ පවසනු ලැබුවේ රොබට් නොක්ස්ය. 1679 වසර දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඔහු මේ අදහස කියාපාන්නේ ඔහුගේ ‘එදා හෙළදිව’ කෘතියෙනි. මෙසේ ඔහු එදා සටහන් තැබුවේ ශ්‍රී ලංකාවේ දී තමන් ලැබූ අත්දැකීම්ය. එසේ නම් පොල් ගසේ කතාව අපට ආරම්භ කරන්නට සිදු වන්නේ 19 වන ශත වර්ෂයේ සිටය.

ඒ සම්බන්ධයෙන් කතාබහ කරනා විට කට වහරේ එන කතාවක් අප කුඩා සන්දියේ දී පාසලේ දී ඉගැන්වූවා මතකය එදා අපට කියා දුන්නේ සුද්දා විසින් උෂ්ණාදික ආහාරයක් වූ දෙල් වගාව ලංකාවේ ව්‍යාප්ත කළ බවත් එය ආහාරයට ගන්නා සිංහලයන් අඩපණ කර දැමීමට කටයුතු කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වූ බවත්ය. එහෙත් සිංහලයා සුද්දාට වඩා නුවණැත්තෝ ය. ඔවුන් දෙල් ගෙඩියේ උෂ්ණය මැකී යන පරිද්දෙන් ඒවා ආහාරයට ගත්තේ පොල් සමඟිනි. මේ සුද්දා පෘතුගීසීන් ද, ලන්දේසීන් ද කියා දන්නේ නැත. කොයි හැටි වෙතත් ඒ ඉංග්‍රීසින් නොවන බව විශ්වාසය. මන්ද ඉංග්‍රීසින් ලංකාවට පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 1896 දීය. රොබට් නොක්ස් කියන පරිද්දෙන් එක්දහස් හයසිය ගණන්වල ලංකාවේ පොල් වගා ව්‍යාප්තව තිබී ඇත. කෙසේ වෙතත් ඉංග්‍රීසීන් ද ඔවුන්ගේ පාලන සමයේ දී පොල් වගාව කෙරෙහි අවධානය යොමුකර තිබූ බවක් පෙනේ.
ඔවුන්ගේ පාලන සමය ආරම්භයේ දී වැන්ඩර් මෙයිඩන් නම් වූ ලන්දේසි ජාතිකයකුට අයත් ව තිබූ ඉඩම් කොටසක පොල් වගා කර තිබූ බවත් කියැවේ. මෙසේ සඳහන් කරන වැන්ඩර්ගේ බිම්කොටස එදා හඳුන්වා දී ඇත්තේ වැන්ඩර්ගේ පොල්ඩරය යනුවෙනි. එදා වැන්ඩර් මෙයිඩන්ගෙ පොල්ඩර ය සම්බන්ධව බ්‍රෝහියර් කියාපාන්නේ මෙවැන්නකි.

“අද කොළොම්පුරය සතු එකම ක්‍රීඩා මණ්ඩපය පිහිටා ඇත්තේ වැන්ඩර් මෙයිඩන් ගේ පොල්ඩරය තිබූ තැන ය. මේ කියනා පොල්ඩරය හි පරිවර්තන රාශියක් සිදු වූ අතර මුල් බ්‍රිතාන්‍ය යුගයේ තණ බිමේ මා මුඩුබිමේ ඒකාකාරියි වී මේ ඒකාකාරී ස්වභාවය නැති කිරීමටදෝ පොල් රුප්පාවක්ද වෙනත් පළතුරු වතු ද මෙහි බිහිවිය. අද මෙහි නව පන්නයේ කර්මාන්ත සංකීර්ණද නගරයේ විදුලි බලාගාරද ස්ථාපනය කර ඇත
(කොළොම්පුර වෘත්තාන්තය)

වැන්ඩර්ගේ පෝල්ඩරය පිළිබඳව තවදුරටත් කරුණු දැක්වෙන අතර එහි විශාලත්වය සම්බන්ධව සඳහන් වන්නේ මෙසේය.
“කැලණි ගඟ ගොඩබිම කුහරවල ද, එහි වම් ඉවුරෙන් ඔබ්බෙහි ද , කුරුඳුවලට උතුරෙන් තණ පිටි හා මුඩුබිම් රාශි වශයෙන් විසිරී තිබිණි. බ්ලූමැන්ඩල් තෙක්ම දකුණු දිගට ඒවා පැතිරිණි”

පොල් පොල් පොල් පොල් පොල්
නියම පොල්
ලංකාවේ වතු වල
වැවෙන පොල්…

එම්. එස්. ප්‍රනාන්දු ගැයූ ගී පදවැල් නම් සත්‍යයකි. පොල් වැවෙන්නේ ලංකාවේ වතුවල ය. එහෙත් එහි අලගිය මුලගිය තැන්නම් සඳහන් වන්නේ නැත. ඒ නිසාම පොල් ගසේ අතීත කතාව සොයා ගැන්මට බණ්ඩාර ශූරීන්ගේ ඉතිහාසගත ග්‍රන්ථයක් උපයෝගි කරගැන්ම උචිතයයි හැඟේ. මන්ද ඉතිහාසය සම්බන්ධයෙන් විවාදාපන්න අදහස් දක්වා ඇති ඩබ්.එස්. බණ්ඩාර ශූරීන් වෙනමම ආකාරය අදහස් ගොන්නක් ඉදිරිපත් කිරීමට සමත්ව උන්නාය.

pinterest.com
www.pinterest.com

කවුද මේ පොලිනීසියානුවො..

පොල් ගසේ ඉතිහාසය කතා කිරීම ආරම්භ කළ ද ඊටත් පළමුව දැනගෙන සිටිය යුතුම ජාතියක් වන්නේ පොලිනීසියානුවන් සම්බන්ධවය. පොලිනීසියානුවන් යනු තම දිවිය පුරාම සංචාරය කරන්නට සමත් මනුස්ස කොට්ඨාශයකි. නොනවත්වා සංචාරය කිරීම ඔවුන්ගේ විනෝදාශය මෙන්ම එකම ක්‍රියාවලියද වේ. ලංකාවේ බහුතරයක් ප්‍රදේශවල ව්‍යාප්තව පවතින්නාවූ පොල් ගසට නම ලැබී ඇත්තේද අප මේ කතා කරනු ලබන පොලිනීසියානු ජාතිකයන්ගෙනි. මන්ද ‘පොල්’ යන පදයගොඩ නැගී ඇතැයි සැලකෙන්නේ ඔවුනගෙනි.

ලංකාවේ සමීපතම අසල්වැසියා ඉන්දියාවයි. එනම් භාරත දේශයයි. භාරතයේ පොල් මුලින්ම වගා කර ඇතැයි සැළකෙන්නේ කේරළයේ ය. කේරළයට පොල් ගෙන ආවේ පොලිනීසියානුවන් බවට මතයක් ගොඩ නැගී ඇත්තේ කලක පටන්ය. බණ්ඩාර මහතා ගේ හැඳින්වීමට අනුව මාගාධික භාෂාවේ පොල් හඳුන්වාදීම සඳහා යොදා ඇති නාමය වන්නේ ‘නාලිකේර’ යන නාමයයි. ‘නාලිකේර’ යනුවෙන් හැඳින්වෙන්නේ නෙළුම් මල යන්නයි. එසේ ඔවුන් මෙය නම් කරන්නට ඇත්තේ කිසිදු දිනෙක නොදුටු විශ්මයාර්ත වෘක්ෂය නෙළුම් මලක හැඩයට දුටුනිසා වන්නට පිළිවන.

pinterest.com

අතීත ශ්‍රී ලංකාවේ වැසියෝ

දකුණු ලක දී කුරුම්බා ගෙඩිය වෑවර වන අතර දකුණු සීමාව පසු කරනවාත් සමග විනාඩි කිහිපයක එහා මෙහා වීමකදී දකුණේ වෑවරය කුරුම්බා බවට පත් වන්නේ එකම හෝරාවක දීය.
කරුණු කෙසේ වෙතත් අප මුලින් කතා කළ පොලිනීසියානුවන් මුලින්ම ලංකාවට පැමිණ ඇතැයි විශ්වාස කරනු ලබන්නේ වැලිගම වෙරළ තීරයෙනි. මන්ද ඩබ්ලිව්. එස්. බණ්ඩාර මහතා සඳහන් කරන අන්දමට ක්‍රිස්තු වර්ෂ 564 දී පමණ රජකමට පත් වූයේ පළමු අග්බෝ රජතුමා ය. ඔහු වැලිගම අවට මුහුදු තීරයේ සැතපුම් 36 ක් පමණ දිගට පොල් වගා කර ඇත්තේ පොලිනීසියානුවන් ගේ ඉල්ලීම මත බවය. ඉන්පසුව පළමු පරාක්‍රමබාහු රජතුමා ද බෙන්තොට සිට කලුතර දක්වා පොල් වගා කරන්නට කටයුතු කළේය. මුල්ම කාලයේ පොල්කිරි යොදන සෑම ආහාරයකටම එක් කරනු ලැබුවේ එළකිරිය. නමුත් පසුකාලීනව පොල් වගාවේ ව්‍යාප්තිය හා ගව සම්පත හීන වී යාමත් සමඟ ආහාරය සඳහා පොල්කිරි එක් කිරීමට අතීත ශ්‍රී ලංකාවේ වැසියෝ පුරුදු වූහ.

පොලිනීසියානුවන් තමන් සතු සුවිශේෂී යාත්‍රාවන් නිසා සාගර තරණය කිරීමට ඔවුන්ට අපහසුවක් නොවීය. බණ්ඩාර මහතා ඔහුගේ ග්‍රන්ථය තුළපොල් ගෙඩියේ ක්‍රමික විකාශය පිළිබඳව දක්වා ඇත්තේ
“රටේ ඇතැම් පෙදෙස් වල කුරුම්බැට්ටි නමින් හැඳින්වෙන ළපටි පොල් ගැටවලට රුහුණේ භාවිතා වන නම ගොබලුය ..
ආදී වශයෙනි.

අතීතයේ සිට පැමිණෙන නොයෙකුත් සිරිත් විරිත් වුව ඒ ආකාරයෙන් ම වර්තමානයේ පවතී. මේ අතර තවත් දෑ යම් යම් ලෙසින් වෙනස් වීම් වලට භාජනය වෙමින් විවිධ හැඩතල ගෙන ඇති බව පෙනේ. එයට හොඳම උදාහරණය වන්නේ වත්මනේ දී නැව් තොටවලින් අලුත් නෞකාවක් දියත් කරන විට ෂැම්පේන් බෝතලයක් නැව් බඳෙහි ගසා එය දියත් කර වීමයි.එයට හේතු ලෙසින් බණ්ඩාර මහතා දක්වා ඇත්තේ පොලිනීසියානුවන් තමන්ගේ යාත්‍රාවක් දියත් කිරීමට පෙර පොල් ගැසීමේ චාරිත්‍රය මෙලෙසින් දිගුවක් ලෙසින් පැමිණ ඇති බවය.

සංස්කෘතිකමය ලක්ෂණ

එක් පරම්පරාවක බල රඳා පැවැත්ම ඇත්තේ පෙර පරම්පරාවේ සිට ගලා එන විවිධ වූ ක්‍රියාකාරකම් මත වන්නා සේම අප මේ කතාවට බඳුන් කරන ලද පොලිනීසියානුවන් නිසාද අප රටෙහි නොයෙකුත් සංස්කෘතික වෙනස්වීම් සිදු සිදුවන්නට විය. එය බොහෝවිට සංස්කෘතිකමය වශයෙන් සිදු වූ බලපෑමක් ලෙසින්ද හැඳින්විය හැක. ඒවා හෙලයාගේ ආහාරමය රටාවට එක් වූයේ ද එළකිරි වෙනුවට පොල්කිරි යොදා ගැනීමෙනි. එය එක්වරම සිදුවූවක් නොවේ. පොල් වගාව ලංකාවේ ව්‍යාප්ත කර කලක් ගිය පසු සිදුවූවකි. ආහාර කතාව පසෙක තබා සංස්කෘතිකමය ලක්ෂණ කතා කිරීමද වැදගත් කමින් යුතු යැයි හැඟේ.
බොහෝවිට වර්තමානයේ දී පවා ගොක් සැරසිලි ආදිය සිදුවේ. ඒවා සියල්ල සිදුවන්නේ පොල් ගස ආධාර කර කරගනිමිනි. තවද පොරපොල් ගැසීම මෙන්ම නොයෙකුත් යාතිකාවන් සඳහා ද ගොක්කොළ මෙන්ම පොල් මල ද යොදා ගැනීම අනිවාර්ය ලක්ෂණයක්ව තිබේ. එය එසේය

මෙම ලිපිය ආරම්භ කළේ දුප්පත් අපට කන්නට ඇති පොල්සම්බෝලයටත් හෙනහුරාගැසූ කතාන්දර යෙනි නමුත් පොල් මිල ඉහළ යාම පැත්තකට දමා අප කතා කරන්නට වූයේ පොල් ව්‍යාප්තියට සෘජු ලෙසම බලපෑම් කළ ජාතිකයින් පිරිසක් පිලිබඳවය. නමුත් එහි වරදක් නැතැයි සිතේ. මන්ද පොල් මිල දිනෙන් දින වෙනස්කම් වලට භාජනය වුවද ලංකාවට පොල් ගෙනා පොලිනීසියානුවන් ගේ ක්‍රියාකාරකම් වෙනස්කම් වලට භාජනය නොවන බැවිනි. ඉතිහාසය ඉතිහාසයමය. එය වෙනස් කළ නොහැකි දෙයක් වුවද වර්තමානයේ ඒ තුළින් ජනිත වන දෑ වෙනස්කම් වලට භාජනය කළ හැකිය.

පොල් ගෙඩියක් අහස උසට

ඉතින්, එදා අප කුඩා සන්ධියේ දී පොල් ගෙඩියක් රුපියල් 5 කට මිල ඉහළ ගිය කාලයේ පොලිනීසියානුවන් සිටියා නම් මේ අකරතැබ්බයන්ට පිළිතුරු ලබා දෙනවා වෙනුවට ඔළුවේ අත ගසා ගන්නවා නොඅනුමානය. වර්තමානයේ සිටියා නම් ලැබෙන පිළිතුරු ඊටත් එහා ය. මල්වතු ඔයෙන් මෙගොඩට ඇවිදින් ලාභයට පොල් විකිණූ ලතාට නම් මේ ගැන වගේ වගක් නො වනු ඇත. මිනිසාගේ නිරෝගි ජීවිත කාලය අවුරුදු දෙසීයක්, තුන් සියයක් වුවද ඇය එලෙසින්ම එගොඩින් මෙගොඩට පැමිණ ලාභයට පොල් විකුණනු ඇත. නොයෙකුත් සිදුවීම් කවර ආකාරයෙන් වූවද පොල් ගෙඩියක් අහස උසට ගණන් ගිය ද ලංකාවටනම් පොල් වලින් තොර කාලයක් උදා නොවනු ඇත.

උදුල රත්නායක