යුක්රේන – රුසියානු බිහිසුණු ගැටුම

pix -BBC news

දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු යුරෝපයේ වැඩිම ලේ වැගිරීමක් සිදු කළ යුද ගැටුම ලෙස ජාත්‍යන්තර විචාරකයන් හඳුන්වන රුසියා – යුක්රේන යුද්ධයට දැන් දින සියයකටත් වැඩිය. මේ දීර්ඝ කාලපරිච්ඡේදය ඇතුළත මරුමුවට පත් වූ දෙපාර්ශ්වයේහිම හමුදා භටයන් සහ යුක්රේනයේ සිවිල් වැසියන් ප්‍රමාණයෙන් දහස් ගණනකි. ආබාධිත තත්ත්වයට පත් වූ ප්‍රමාණය ඊට වැඩි විය හැකිය. ඒ හැරුණු විට තවත් මිලියන ගණනක ජනතාව අවතැන් වී ඇති අතර යුක්රේනයේ සුන්දරත්වය විදහා පෑ නගර සියල්ල මුළුමනින්ම නටබුන් බවට පත් වී ඇත.
රුසියාවේ ව්ලැදිමිර් පුටින් මෙන්ම යුක්රේනයේ ව්ලොදිමෝර් සෙලෙන්ස්කි ද එකිනෙකාට චෝදනා කරමින් ද, ඔවුනොවුන්ගේ යුද ශක්තිය ගැන අතිශයෝක්තියෙන් කතා කරමින් ද යුද්ධය ඉදිරියට තල්ලු කරගෙන යන ආකාරයට අනුව පෙනෙන්නේ යුද්ධයේ නිමාව පෙනෙනතෙක් මායිමක නැති බවය. තවදුරටත් රටවල් දෙකම පසුවන්නේ යුද්ධයේ පතුලටම ගමන් කරමිනි.
මේ වන විටත් රුසියා හමුදාව සහ යුක්රේන හමුදාව අතර දරුණු සටන් ඇවිලෙමින් තිබේ. දැන් ගැටුම් පවතින්නේ නැගෙනහිර යුක්රේන කලාපයේය. එම කලාපයේ සෙවරොඩොනෙට්ස්ක් නගරය මේ දින කිහිපය ඇතුළත යුක්රේන යුද්ධයේ වඩාත්ම දරුණු ප්‍රහාර එල්ල වන නගරය බවට පත් වී ඇති බව යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන මේජර් ජෙනරාල් කිරිලෝ බුඩානොව් ද තහවුරු කර තිබේ.
වෙනම රාජ්‍යයක් ලෙස රුසියාව විසින් පිළිගනු ලැබූ යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ ලුහාන්ස් හි පිහිටි සෙවරොඩොනෙට්ස්ක් නගරය දැනට එම කලාපයේ යුක්රේන හමුදාව අත්පත් කරගෙන සිටින එකම නගරය ලෙසත් සැලකේ. රුසියා හමුදාව අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර දෙමින් යුක්රේන හමුදාව තවදුරටත් නගරයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළත් යුක්රේන හා රුසියා ආරංචි මාර්ගවලින් සඳහන් වන්නේ ඊට වෙනස් තොරතුරුය.
යුක්රේන හමුදාව ක්‍රම ක්‍රමයෙන් සෙවරොඩොනෙට්ස්ක් නගරයෙන් පසු බසිමින් සිටින බවට රුසියා ආරක්ෂ අමාත්‍යාංශය නිවේදන නිකුත් කරද්දී,  නගරයේ බලය තහවුරු කරගැනීමට හැම අතින්ම යුක්රේන හමුදාව සමත්ව සිටින බව සෙලෙන්ස්කි ප්‍රකාශ කරයි.
ඩොන්බාස් කලාපයේ උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් සෙවරොඩොනෙට්ස්ක් නගරයේ ගොඩනැගිලි දැනටමත් පොලොවට සමතලා වී අවසන්ය. ඉතිරිව ඇති ගොඩනැගිලි ද වරින් වර රුසියා මිසයිල ප්‍රහාරවලින් පුපුරා යමින් තිබේ. මීට දිනකට පෙර රාත්‍රිය පුරා අඛණ්ඩව රුසියා හමුදාව ප්‍රහාර එල්ල කිරීම නිසා නගරයේ සිවිල් වැසියන් රැය ගත කළේ මරණය දෝතින් දරාගෙන බව නොඅනුමානය.
සෙවරොඩොනෙට්ස්ක් යුද ගැටුම් ඇවිලීමත් සමඟ යුක්රේනයට අවිආයුධ සැපයීම වේගවත් කිරීමට බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක්ම කටයුතු කර තිබූ අතර, එය පුටින්ගේ දැඩි කෝපයට හේතුවී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කළේය. මේ අවි අතරට දිගු දුර මිසයිල විශාල තොගයක් ද ඇතුළත් බව වැඩි දුරටත් වාර්තා වෙද්දී රුසියාව තරයේම අනතුරු අඟවා ඇත්තේ එවැනි දිගු දුර මිසයිල යුක්රේනයට සැපයීමට පියවර ගන්නේ නම් බ්‍රිතාන්‍යයට සහ අමෙරිකාවට ප්‍රතිචාර දැක්වීමට රුසියාව සූදානම් බවය. මේ ප්‍රකාශය සිදු කරනු ලැබුවේ රුසියාවේ විදේශ ඇමැතිවරයා විසිනි.
බ්‍රිතාන්‍ය නියත වශයෙන්ම යුක්රේනයට දිගු දුර මිසයිල සපයන බව බ්‍රිතාන්‍යය තහවුරු කළේ රුසියාවේ විදේශ ඇමැතිවරයාගේ ප්‍රකාශය නිකුත් වීමෙන් දිනක් ගත වීමටත් පෙරය. එය තවත් ආකාරයකින් රුසියා – යුක්රේන යුද්ධය තවත් කාලයකට ඇදී යන දරුණු ඛේදවාචකයක් බවට පත්වීමේ අනතුරු ඇඟවීමකි. රුසියාවේ ප්‍රකාශයට වහා ප්‍රතිචාර දැක් වු අමෙරිකාව ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යුක්රේනයට නවීන තාක්ෂණයෙන් යුතු රොකට් පද්ධතියක් යැවීමට කටයුතු කරන බවය.
යුක්රේනයට M270 වර්ගයේ බහුකාර්ය රොකට් පද්ධතියක් මීට පෙර කිසිදු රටකින් ලැබී නැත. යුක්රේනයට රුසියා හමුදා පරාජය කිරීමට අවි සපයන අමෙරිකාව සමඟ දැන් බ්‍රිතාන්‍යයත් එක්වී සිටින්නේ පවුම් මිලියන 750ක වටිනාකමකින් යුතු අවිආයුධ තොගයක් ලබා දීමේ අරමුණ ඇතිවය. සෙලෙන්ස්කිගේ ඉල්ලීම පරිදි මීට පෙරත් සැලකිය යුතු ආයුධ තොගයක් බ්‍රිතාන්‍ය විසින් ලබා දී තිබිණි. යුද ටැංකි නාශක සැහැල්ලු ආයුද පන්දහසකට වැඩි ප්‍රමාණයක්, සන්නද්ධ රථ 120ක්, බර අවි විහිදුම් ඩ්‍රෝන දුසිම් ගණනක් ඒ අතර තිබිණි.
බටහිර රටවලින් ආයුධ තොග පිටින් ලැබීමේ ප්‍රවණතාවත් සමඟ යුක්රේනයට එල්ල වන රුසියා හමුදා ප්‍රහාර ද වැඩිවෙමින් පවතී. රුසියාවේ යුද උපක්‍රම දිනපතා වෙනස් වන බැවින් ඊට මුහුණ දීමට යුක්රේනයට ශක්තියක් විය යුතු බව මේ ආයුධ සැපයීම සාධාරණීකරණය කරමින් අමෙරිකාවේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍යය ද එම ප්‍රකාශය පිළිගෙන ඇති අතර, තවත් යුරෝපා රටවල් ගණනාවක්ම ඉදිරියේදී නවීන අවි ආයුධ යුක්රේනයට සපයනු ඇතැයි යුද විශ්ලේෂකයෝ කියති.
නවතම තොරතුරුවලින් කියැවෙන්නේ තවමත් සෙවරොඩොනෙට්ස්ක් නගරයේ වැඩි කොටසක පාලනය යුක්රේන හමුදාව සතුව පවතින බවය. යුක්රේන හමුදාව සෙවරොඩොනෙට්ස්ක් නගරයේදී යටත් නොවන බව නගරාධිපති ඔලෙක්සැන්ඩර් ස්ට්‍රියුක් තවමත් ප්‍රකාශ කරන්නේ බටහිරින් ලැබෙන එම අවිආයුධ පිළිබඳ අවධානය යොමු කරමිනි.
පෙනෙන හැටියට රුසියා හමුදාවටත් සෙවරොඩොනෙට්ස්ක් යුද්ධය දරුණු හානියක් සිදු කර තිබේ. යුද බිමේ සිට වාර්තා ඉදිරිපත් කරන රුසියාවේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුගේ වාර්තාවකට අනුව රුසියාවේ ඉහළ මට්ටමේ හමුදා නිලධාරියකු වන මේජර් ජෙනරාල් රොමාන් කුටුසොව් මේ යුද ගැටුම්වලින් මරුමුවට පත්වී තිබේ. තවත් හමුදා සෙබළුන් දහසකට ආසන්න ප්‍රමාණයකට ජීවිත අහිමිවී තිබේ. එහෙත් නගරයේ ඉතිරි කොටසත් අත්පත් කරගන්නා තුරු සටන අත්නොහරින බව රුසියාව ප්‍රකාශ කර ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළ සෙවරොඩොනෙට්ස්ක් නගරය මුළුමනින්ම යුද පිටියක් වනු ඇතැයි යුද විශ්ලේෂකයෝ දැනටමත් අනාවැකි පළ කරති.
මේ අනුව ගත් කළ යුක්රේන රුසියානු ගැටුමෙහි නිමාවක් පේන තෙක් මානයක පෙනෙන්නට නැත.මෙම දරුණු යුද්ධය නිසා දෙරටේ සියලු කටයුතු පසුබෑමට ලක්ව ඇත.විදේශීය දරුවන්ගේ අධ්‍යාපන මර්මස්ථානක් වූ රුසියාව සහ බෙලරූස්හි එම කටයුතු අඩාලකොට ඇත්තේ මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුකොට ගෙනය.
යුද්ධය යනු මිනිසකු ජිවිතයේ මුහුණපාන අති දරුණුතම ඛේදවාචකයයි.යුක්රේනයේ සහ රුසියාවේ වැසියන් මේවනවිට ඒ අති බිහිසුණු ඛේදවාචකයට මුහුණ දෙමින් සිටිති.එක් පාර්ශවයකට නොදෙවෙනි බලය පෙන්වීමේ යුද්ධය හරහා අප සියලුදෙනාහට ලැබෙන්නේ දුක කඳුළ සහ සුසුම පමණි.

tellusdaily.com