
ඉතින් කොහොමද ජීවිතේ?
ජීවිතේ ඉතාම හොඳයි. සුන්දරව ගෙවිලා යනවා.
මොනවාද මේ දවස්වල සම්බන්ධ වී සිටින වැඩකටයුතු?
මම සහ මගේ දුවලා දෙන්නා එකතු වෙලා පළමුවැනි වතාවට සින්දුවක් වොයිස් කරනවා. ඒක අපි තුන්දෙනා වෙනුවෙන්ම ලියවුණ අලුත් ගීතයක්. මේ මාසේ 17-20 අතර මියුසික් වීඩියෝවකුත් සමඟ මේ ගීතය රිලීස් කරනවා. මම හිතන විධියට මේක අම්මා සහ දුවලා දෙන්නා එකතුවෙලා කරන පළමුවැනි වීඩියෝ එක.
මේ ගීතයේ වැඩකටයුතුවලට අමතරව මගේ වෘත්තීය පැත්තෙන් ගත්තම මම ලංකාවට පර්මනන්ට් හෙයා රිමූවර් මැෂින් එකක් ගෙන්වලා තිබෙනවා. මේක “Four in one” යන්ත්‍රයක්. මේකෙන් කාන්තාවන්ගේ මුහුණේ, ඇඟේ රෝම වැවීම අවම කරන්න පුළුවන්. ඊට අමතරව තද පැල්ලම්, ටැටූ රිමූ කරන්න වගේම සමේ පැහැය වැඩි කරගන්නත් පුළුවන්. මේ මාසේ අන්තිම ඒකත් පටන් ගන්නවා.
සුජීවා දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක් නේද?
ඔව්. පාසල් සමයේ සංගීතය විෂයක් විධියට හැදෑරුවට කැමැත්ත තිබුණේ ක්‍රීඩාවට. මම පාසල් මට්ටම, කොට්ඨාස, දිස්ත්‍රික්, සමස්ත ලංකා, ජාත්‍යන්තර මට්ටම වගේම ආසියානු මට්ටමිනුත් ක්‍රීඩා කරලා තිබෙනවා. සින්දු කියලා රටවල්වලට යන්න කලින් මට ටෙනිස් ක්‍රීඩාවෙන් පාසල් කාලේදීම ආසියාතික රටවල් කිහිපයකට යන්න අවස්ථාව ලැබුණා. මට ටෙනිස්වලට රන් පදක්කම් 16ක් තිබෙනවා.

දමිළ කාන්තාවක් ලෙස මේ ක්ෂේත්‍රයට පිවිසීමේදී පවුලෙන් ලැබුණ සහයෝගය කොහොමද?
ඇත්තටම මට ගෙදරින් කිසිම සහයෝගයක් මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ලැබිලා නැහැ. දැනටත් ලැබෙන්නේ නැහැ. දමිළ අය වැඩිපුරම අවධානය යොමු කරන්නේ අධ්‍යාපනය සම්බන්ධව. ගැහැනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් උසස් මට්ටමකට ඉගෙන ගන්න ඕනේ. එහෙම පවුල් පසුබිමක් තමයි මටත් තිබුණේ.
මගේ පවුල කලාවට ළැදි පවුලක්. නමුත් එයාල කිසි දවසක මම කලාවට සම්බන්ධ වීම ගැනවත් මම කලාවට සම්බන්ධ වෙලා යම්කිසි මට්ටමක දෙයක් කරගත්ත එක ගැනවත් එයාලගේ පැත්තෙන් සහයෝගයක් හෝ අගය කිරීමක් ලබාදී නැහැ. මම හිතන විධියට මෙතැනින් එහාට ලැබෙන්න විධියකුත් නැහැ.
මේ ගමන තුළදී කැපිලි කෙටිලි එහෙම ඇවිත් නැද්ද?
මේ ගමනේදී වැඩිපුරම ඇවිත් තිබෙන්නෙ කැපිලි කෙටිලි තමයි. මම උපාධිධාරිනියක්. මම කළේ මනෝ විද්‍යාව. උපාධිය අරගෙන ලංකාවට ඇවිත් මම උපදේශකවරියක් විධියට වැඩ කළා. විධායක ශ්‍රේණියේ රැකියාවක් අතහැරලා තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. වෘත්තීය වශයෙන් රැකියා කිහිපයක් කරපු කෙනෙක් විධියට මට හිතෙනවා
මේ ක්ෂේත්‍රයේ විතරයි සුදුසු කෙනාට සුදුසුකමට ගැළපෙන තැනක් නොලැබෙන්නේ කියලා. මේ ක්ෂේත්‍රයේ කොච්චර සින්දු කියන්න පුළුවන් වුණත්, දක්ෂ වුණත් සුදුසු කෙනාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. අනෙක මේ ක්ෂේත්‍රයේ එක්කෙනෙක්ට එක්කෙනෙක් නැහැ. මූණට කොච්චර හිනාවෙලා කතා කළත් හිත ඇතුළෙන් ඒ අවංකකම, ඒ හැඟීම නැහැ.
ඕනෑම රැකියාවක කැපිලි කෙටිලි තිබෙනවා. නමුත් රැකියාවකදී සුදුසුකම් සහිතව ඉන්න කෙනෙක්ව කපන්න හරි අමාරුයි. එහෙම කරන්න නම් අනෙක් කෙනාට ඒ සුදුසුකම හදාගෙන එන්න වෙනවා.
නමුත් මේකේ එහෙම එකක් නැහැ. සින්දුවක් කියලා ට්‍රයි කරලා හරියන්නෙ නැත්නම් ඊළඟ වීඩියෝ එකේ බාගෙට ඇඳ ගත්ත ගෑනු ළමයි ටිකක් දාලා නටවනවා. ඒක වයිරල් වෙනවා. නමුත් ඉන්න මිනිස්සු කවුද කියලා හඳුනාගෙන ගමනක් යන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ.

තනි මවක් ලෙස දුවලා දෙදෙනෙක් රැක බලා ගැනීමේ අත්දැකීම කොහොමද?
ඒ අත්දැකීම් මෙහෙමයි, අපි ගමනක් යද්දි බස් එකේ යන්න සල්ලි තිබෙන්නේ භාගයක් දුර යන්න නම් බස් එකෙන් බැස්සා කියලා එතැන නවතින්නවත් ආපස්සට යන්නවත් බැහැ. කවුරුත් අපිව නොමිලේ ගිහින් බස්සන්නෙත් නැහැ. එතකොට අපිට ඇවිදගෙන හරි ඒ ගමන යන්න සිද්ද වෙනවා.
අපි ඒකට උත්සාහ කරන්න ඕනෑ. මම කොහොම හරි යන්න ඕනේ කියලා හිතා ගත්තොත් අදම යන්න බැරි වුණත් කවදාහරි යන්න පුළුවන් වෙයි. අන්න ඒ වගේ තමයි සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නෙත්. මගේ දරුවන්ට අම්මයි තාත්තයි දෙන්නම මම. ඒ නිසා මට ඒ ගමන යන්න වෙනවා. ගැහැනු ළමයෙක් කියලා කියන්නේ අම්මා කෙනකුට ලොකු මෝටිවේෂන් එකක්.
එයාලා වෙනුවෙන් මේ දේ කරන්න වෙනවා කියන තත්ත්වයට අම්මා කෙනෙක් පත් වුණොත් මම හිතන්නේ ඒ අම්මා කොහොමහරි ඒ දේ කරනවා. අනෙක කෙනෙක්ට උගත්කමක් තිබෙනවා නම් ගෙදරට වෙලා ඉන්න ඕන නැහැ. ඉගෙන ගත්ත දේවල්වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට අපිට මාර්ග කිහිපයක්ම තිබෙනවා ජීවිතයේ ඉදිරියට රැගෙන යන්න.
පසුගිය දිනක සිදුවුණු රිය අනතුර අවස්ථාවේදී ඔබ සහ ඔබගේ දියණියගේ හැසිරීම පිළිබඳව විශාල කතාබහක් ඇති වුණා. ඇත්තටම මොකක්ද ඒ සිදුවීම?
මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා සමාජ මාධ්‍ය තුළ ඒක ශෙයා කරපු සහ මාතෘකාවක් කර ගත්ත හැමෝටම. කාන්තාවක් පන්සල් ගියාට බුද්ධ ධර්මය ඉගෙන ගත්තාට රණ්ඩුවක පැටලිලා පරුෂ වචනයෙන් බැන ගද්දි එතැනට ගිහින් මැණික, පැටියෝ කියන සිරිතක් නැහැ. රණ්ඩුවක් ප්‍රශ්නයක් වෙන තැන මිනිස්සු කෑ ගහගන්නවා. රණ්ඩු කරගන්නවා.
සාමාන්‍යයෙන් මම පරුෂ වචන පාවිච්චි කරන්නේ නැහැ. කරලත් නැහැ. අනෙක එතැන හයිලයිට් කරන්නේ මම මත්පැන් පානය කරලා හිටියා කියලා. නමුත් මම සාමාන්‍ය ජීවිතෙත් මත්පැන් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. මාව ආශ්‍රය කරන අය ඒක හොඳින්ම දන්නවා. මම පාටි දාලා ඒ පැත්තට යොමු වුණා නම් මගේ ජීවිතේ මම මෙච්චර දියුණු වෙන්නෙත් නැහැ.
ඒ අවස්ථාවේදී මම ප්‍රසිද්ධ කෙනෙක් මාව වීඩියෝ කරලා චරිතය ඝාතනය කළොත් මොකද වෙන්නේ කියලා අහපු එකෙන් තමයි මම ප්‍රසිද්ධ කෙනෙක් කියන කෑල්ල විතරක් කපලා දාල තිබෙන්නේ. මට කියන්න තිබෙන්නේ මම එදා ප්‍රසිද්ධ කෙනෙක් කියලා කිව්වා නම් අද මම ඉතා ප්‍රසිද්ධ කෙනෙක් කියලයි.
ඕක වීඩියෝ එකක් කරලා ඒක අප්ලෝඩ් කරපු මනුස්සයා හා ඒක ශෙයා කරලා ඒක ප්‍රසිද්ධ කරපු අය ඒක මාතෘකාවක් කරගත්ත අය හැමෝටම එක්කෝ අම්මා කෙනෙක් නැහැ. එක්කෝ තාත්තා කවුද කියලා දන්නේ නැහැ.
එහෙමත් නැත්නම් ඒ අය හරි විධියට උපයලා මේ අය පෝෂණය කරලා නැහැ. අවජාතක දරුවෝ ටිකක් එකතුවෙලා කරපු දෙයක් කියලා හිතලා ධර්මය පැත්තෙන් මම හිතා හදා ගන්නවා.

ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධව ඇතිවන මෙවන් සිදුවීම්වලදී සමාජ මාධ්‍යවල හැසිරීම ඔබ දකින්නෙ කොහොමද?
හරිහමන් දෙයක් නොකරන මිනිස්සු ගැන මොකද කරන්නේ. එහෙම අයත් ඉන්නවානේ. ඊට වඩා වැදගත් හැසිරීමක් ඒ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.
මේ හැම දෙයක්ම දරා ගන්නේ බුද්ධ දර්ශනය පිළිබඳ තිබෙන අවබෝධයෙන්ද?
අනිවාර්යයෙන්ම. මම රහත් වෙලා නැහැ. මම ඒ තරම් පින්වන්ත නැහැ. මගේ පින් බලවත් නම් මම තවම මේ සසරේ ඉපදෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනය නිසා හැමදේම නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. මිනිස්සුන්ගේ හැසිරීම්, කරන කියන දේවල් විහිළුවක් වගේ. නමුත් අවශ්‍ය තැනට පෙණේ පුප්පන්නත් වෙනවා. එහෙම නොකළොත් ලණුවක් කියලා හිතලා මාව දරමිටියටත් බඳීවි.
නදීරා හඳුගල
සටහන උපුටා ගැනීම මව්බිම පුවත්පතෙහි
හදගැස්ම අතිරේකයෙනි