පාසල් භූමියේදී කතකට සැමියාගෙන් පිහි පහර

සිය දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ගොස් සිටි මවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස තියුණු ආයුධයකින් ගෙලට සහ අතකට පහරදීමක් සිදු කර තිබේ.
පහර කෑමෙන් තුවාල ලැබු කාන්තාව ඊයේ (28) පෙරවරුවේ කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දේවාලේගම පොලිසිය පවසයි.

එලෙස සිය සැමියාගේ පහර කෑමට ලක්වූ කාන්තාව ඉඹුල්ගස්දෙණිය, මාඔය වත්ත ලිපිනයේ පදිංචිව සිටින 25 හැවිරිදි එක්දරු මවකි. ඇය මීට මාස හතරකට පෙර සැමියා සමඟ ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් අමනාප වී දරුවා ද සැමියාට භාර දී නිට්ටඹුව ප්‍රදේශයේ සිටින ඥාතියකුගේ නිවෙසක නතර වී සිට ඇත.

දරුවා බටුවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා ඇය නැවත මහ ගෙදරට පැමිණ දරුවා එම නිවෙසට කැඳවාගෙන එන ලෙස සැමියාට දුරකථනයෙන් පවසා තිබේ. සැමියා විසින් දරුවා සහ දරුවාගේ පාසල් ඇඳුම් කට්ටලය ද බිරිඳගේ මහ ගෙදරට ගිහින් දී ආපසු සිය නිවෙසට ගොස් තිබේ.

මෙම කාන්තාව දරුවා සමඟ පාසලට ගොස් දරුවා පාසලට භාර දී එහි පැවති උත්සවයකට ද සහභාගි වී විදුහල්පති කාර්යාලයට යන අවස්ථාවේ සැමියා පැමිණ මුදල් ඉල්ලා කරදර කරමින් ඇයගේ දුරකථනය උකස් තැබීමට ඉල්ලා ඇත. ඇය දුරකථනය දීමට අකමැති වූ නිසා ඉනේ සඟවා තිබූ පිහියක් ගෙන එම කාන්තාවගේ ගෙල ප්‍රදේශයට සහ අතකට පහර දී තිබේ.

පොලිසිය පවසන්නේ සැකකාර සැමියා කාලයක සිට තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි ව සිටින අයකු බවයි.

පහර කෑමට ලක් වූ කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බවත් රෝහල් පොලිසිය පැවසීය.