පාසල් අත්‍යවශ්‍ය සේවාවක් වෙයි ද?

පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (23) කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් සහ පාසල් සිසුන්ට නොමිලයේ පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවයට සහභාගි වෙමිනි.

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට උත්සාහ ගන්නා බවත් තමන් ඊට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය. පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එසේ නොවුණ හොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට සිදු වනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.