ඩොටී ජීවත් වූයේ පාලමයටය. එහෙත් තනිව නොවේ. තම සැමියා වූ සොලොමන් හා දරුවා වූ සෝමසිරි සමඟය. ඩොටීට හැමදාමත් අවැසි වූයේ යහපත්වූ පවුල් ජීවිතයක් ගත කරමින් සතුටින් සාමදානයෙන් ජීවත් වීමටය. එහෙත් පාලමයට ජීවිත යනු එසේ සාමකාමි ලෙස පවුල් පරිසරයක් පවත්වා ගත හැකි ස්ථානයක් නොවේ. එය එහි වාසය කරන සියල්ලන්ටම පොදු කාරණාවකි. මන්ද අධ්‍යාපනය මෙන්ම සමාජීය පරිසරය ද එවන් ස්ථානවල ඍන මට්ටමේ පවතින බැවිනි. මේ සියල්ලන්ටම ඔවුන්ට හේතුවන කාරණා වන්නේ දරිද්‍රතාවයයි. එදිනෙදා ලැබෙන කවර හෝ රැකියාවකට පිටත් වන ඔවුන් තම කුසගිනි නිවා ගන්නේ එම මුදලිනි. මේ අතරවාරයේ පාලමයට සිදුවන නොයෙකුත් අපචාර ක්‍රියාවන් ද නැතුවාම නොවේ. මේ ආකාරයට ඩොටී ගේ ජීවිතය ගැන කියවා ගන්නට අපට හැකි වන්නේ එච්. ඩී. ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කළ පාලමයට චිත්‍රපටයෙනි.
ඩොටී සතුටින් තම පවුල් ජීවිතය ගත කරමින් සැමියා සමඟ පාලමයට ජීවත් වුවද ඇයට වැඩි තාක්කල් එසේ සිටින්නට නොහැකි විය. එයට හේතුවූයේ තම සැමියා වූ සොලමන් මිනීමැරුමකට මහ උලු ගෙදර උළු ගනින්නට යාම නිසාය. පාලම යට ජීවිත බොහෝ තැන්වලදී කියවෙන්නේ මුඩුක්කු සහ ගුබ්බෑයම් චරිතයන් ලෙසිනි. හැලහැප්පීමක්, රණ්ඩුවක්, බහින්බස්වීමක් නොතිබුණ දිනයක් මේ ගුබ්බෑයම් වැනි මුඩුක්කු සිරියක් උසුලන පාලම්යට නොතිබිණි. ඩොටී ජීවත් වුණු පාලමයට ද එවන් ලකයක් නොවීය. එයද සියලු තැන්හි ම පවතින දරිද්‍රතාවයෙන් පිරී පැවතුණ තැනකි. එවන් සමාජීය වටපිටාවක් පවතින ස්ථානයක සැමියා සිර ගෙදරට ගිය ගැහැණියක් තනිව වාසය කරනවා යනු හීනයක්ම පමණි. වාසය කළ ද කාගේ හෝ තුරුලේ සැඟව සිටින්නට සිදුවන බවනම් නොඅනුමානය. සාමාන්‍ය රූපයක් හිමි කාන්තාවක් කවර හෝ විශ්මයකට පිරිමි ඇස් වලින් බේරී සිටිය ද ඇහැට කණට පේන හැඩැති රුවැති කාන්තාවකට එසේ වසන්නට නොහැකිය. ඩොටී ද සාමාන්‍ය කාන්තා කුළකයෙන් මිදුණු ඇහැට කණට පෙනෙන රුවැති කාන්තා කුලකය අතර සිටින්නියකි. මේ පාලම යටටම එවැනි පැහැයකින් යුත් හැඩැති කාන්තාවක් වාසය කළේ නැත.
ඩොටීට දැන් රාජකාරි කීපයක්ම තිබේ. ඉන් එකක් වන්නේ දරුවා බලා ගැනීමත් අනෙක් වැදගත් කරුණ වන්නේ තම ස්වාමියා බැලීමට හිර ගෙදරට යාමත්ය. පාලමයට ජීවත් වූවන්ට මෙය ඉතා සරල සරළ කාරණාවකි. හිරගෙදරින් නිවසට පැමිණීමත් නිවසෙන් හිරගෙදරට යෑමත් සරල යාම් ඊම් වැනිය. එමෙන්ම ඔවුන්ගේ ගැහැනුන්ටද ඒවා සාමාන්‍ය සිදුවීම් වැනිය. මේ අතරවාරයේ හිරගෙදරට ගිය සොලොමන් බැලීමට ගිය ඩොටීට උදව් කරන්නට ඉදිරිපත් වූයේ හිරගෙදර ම සිටියෙකි. ඒ අන් කවරකුවත් නොව හිර ගෙදර සිටි ජේලර් මහත්තයාය. ඩොටී දුටු මොහොතේ සිට මුලින්ම විශේෂ සැලකුම් ලැබුවේ සොලොමන් ය. ඊට ආසන්නතම කාරණාව කිසිවක් නොව ඩොටීය. ඩොටීගේ සිත් ඇදබැඳ ගන්නා සුළු රූ සපුව මේ වනවිටත් ජේලර් මහත්තයාව මෝහනයට පත් කර තිබිණි. හිර ගෙදරදී සොලොමන්ට විශේෂ සැලකිල්ලක් දැක්වූ ජේලර් ඉන්පසුව ඩොටීට උපකාර කරන්නට එන්නේ වෙනම ආකාරයකටය.
ඔහු තකහනියෙම එන්නේ ඩොටී සොයාගෙන ඩොටීගේ පැල් පතටය. මුලින්ම ඔහු යාප්පුවෙන් පැමිණෙන්නේ හිරගෙදර සිටි සොලොමන් ගේ යම් යම් පණිවිඩ රැගෙන එන ආකාරයටය. එහෙත් කීප දොහකින් එය හුවමාරු වන්නේ කේක්, බිස්කට් වලට ය. ජේලර්ගේ අනුකම්පාව හැරවෙන්නේ කොයි අතට ද යන්න හඳුනා ගැනීමට ඩොටීට වැඩි කලක් ගත නොවිණි . එහෙත් ජේලර් මහත්තයා සම්බන්ධයෙන් වචන ඉස්සර කරගන්නට ඇය අකමැති වූයේ තම සැමියා වූ සොලොමන් තවමත් හිර ගෙදර සිටින නිසාවෙනි. ඔහුට පවසන එක වචනයකින් හෝ වාඩු ගන්නට ඔහු පෙළඹෙන්නේ තම සැමියාගෙන් බව ඇය නොදන්නවා නොවේ
මේ අතර වාරයේ සොලොමන් හිරේට ගිය පසු ඩොටීට හා ළමයාට සලකන්නට,උදව් උපකාර කරන්නට ඉදිරිපත් වෙන්නේ අංකල් මහත්තයාය. දරුවා ලෙඩ වූ විට පවා බෙහෙත් හේත් ගේන්නට පවා ඉදිරිපත් වන්නේ ඔහුය. මේ හැම දේකදිම අංකල් මහත්තයා ඉදිරිපත් වන්නේ තමා සම්බන්ධයෙන් අනුකම්පාවෙන් බව මුලින් මුලින් ඩොටී සිතුවද අංකල් මහත්තයා ද ආවේ වෙනම කථාවකටය. කෙසේ වෙතත් ජේලර් මහත්තයා නිතර නිතර ඩොටීගේ නිවසට පැමිණීම සම්බන්ධයෙන් තවත් උරණ වන්නෙක් සිටියේය. ඒ විලීය. දිනක් ජේලර් පැමිණෙන ගමන් මග අවුරා ඔහුට අවවාද දුන්නේ ද නිකමට නොවේ. දැන් විලීද ඩොටීට බැල්ම හෙළන්නට පටන්ගෙන අහවරය . එහෙත් ඩොටීට, විලී සමඟ හැරෙන්නටවත් බැරි වූයේ ඔහු තම චන්ඩි කමින් ඇයව ග්‍රහණයට ගන්නට සමත් වූ බැවිනි . ඩොටී දැන් සිටින්නේ විලීගේ අණසක යටතේය. ඔහු ඩොටීගේ පැල්පතට ආදා පටන් ඩොටීගේ ජීවිතේ වෙනස් වන්නට පටන් ගත්තේ ද වෙනම ආකාරයකටය. ඇයගේ පවුල් පරිසරය හාත්පසින්ම වෙනස් වන්නට වූවාය. සියලු අකටයුතුකම් සිදු වූයේ පැල්පත තුළදීමය .
ගංජා විකිණීම, කසිප්පු විකිණීම සියල්ල සිදුවූයේ ඩොටීගේ නිවස තුළය. වීලීගේ මේ කටයුතු නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඩොටීද ඒ සඳහා අනුගත වන්නට විය. කලක් යන විට ඇය කසිප්පු වෙළදාමට පමණක් නොව කසිප්පු පානය කරන්නට පවා යොමුවිය. එපමණක් නොව මේ සියල්ල අවසානයේ විලීගේ ආශාවන් ඉෂ්ට කරන්නට ද ඇයට සිදුවිය. .ඇය බොහෝ තාඩන පීඩන වලට ලක්වන කාන්තාවක් බවට පත් විය .
ඩොටී යනු දිරිමත් ගැහැනියකි. ඇය හමුවට එන සියලු අභියෝග ජය ගන්නට ඇය දිරිමත් කටයුතු කළාය. එහෙත් ඒ අතීතයේ දී ය. ඩොටීගේ වර්තමානය දැන් ඊටත් හාත්පසින් වෙනස්ය. ඇයගේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරන්නට සමත් වූයේ ඇයගේ රූමත් බවය . එහෙත් ඊට සිදු වූ මුල් කාරණාව වූයේ සොලොමන් සිරගත වීම ය. ඩොටීට හමුවන සියලු දෙනාම ඇයව යහපත් ජීවිතයක් කරා රැගෙන යාමට අසමත් වූ මුත් ඇයව අගාධය කරා ඇදගෙන යාමට මුල්විය. යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නට හිතාගෙන සිටි ඩොටීට අත්වූයේ නොසිතූ ඉරණමකි.
මිනිස් වෙස්ගත් ආශාවන් මුල්කරගත් මිනිසුන් සියලු දෙනා ඇය වෙත පැමිණියේ උදව් මුල්කර ගනිමිනි. අංකල් මහත්තයා ජේලර් මෙන්ම විලීද ඇයගේ ජීවිතය වෙනත් මගකට යොමු කළ සාධකයන්ය. ඉන් වඩාත් බලපෑවේ විලීගේ ක්‍රියාකලාපයන් ය. අවසානයේ දී ඇයට සිදුවූයේ තම දරුවා වූ සෝමසිරි අතින් විලී මිය යනවා බලා සිටින්නට ය.
ඩොටී ලෙසින් චරිත නිරූපණය කළ ගීතා කුමාරසිංහ චිත්‍රපටයේ ආරම්භයේ සිට අග තෙක් ප්‍රේක්ෂකයන්ට දැනෙන රංගනයක නිරත විය
අසෙනි ඉරුගල්බණ්ඩාර