ජනපතිවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයට සුඛෝපභෝගී මෙට්ටයක්, ඇඳක් සහ භාණ්ඩ කිහිපයක් ගෙන ඒම පිළිබඳව මාතර දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද 9දා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මේ සියල්ල පාර්ලිමේන්තුවට ගෙන ආවේ පෞද්ගලික ආයතනයක් වන හෙයින් එය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවටද තර්ජනයක් බව පැවසූ මන්ත්‍රීවරයා එම කරුණ සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර සිටියේය.
ඒ අනුව මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ
“මේ පාර්ලිමේන්තුවට ජූලි මාසේ 28 දහවල් 11.00 ට භාණ්ඩ වගයක් ඇවිල්ල තියෙනවා.හැබැයි පාර්ලිමේන්තුවෙන් මිලදී ගැනීමක් කරල නැහැ. මම ඒ රිසිට් සියල්ල සභාගත කරනවා. මේක ගෙනල්ලා තියෙන්නේ පෞද්ගලික ආයතනයක්. ඒ ආයතනය මුදල් ගෙවලා තියෙන්නේ. ඒ භාණ්ඩ ඇවිල්ල තියෙන්නෙ ජනාධිපතිතුමාගේ කාර්යාලයට. එතකොට ඒ ඔක්කොටම අත්සන් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු ලේකම්තුමා. මම ඒ ලියකිවිලි සභාගත කරනවා.
ඒ භාණ්ඩ අතර සුපිරි මෙට්ටයක් තියෙනවා. ඝනකම අඩියකට වැඩියි. මෙහෙම මෙට්ටයක් මේ කාමරයට ගෙනාවෙ මොකටද. මම දන්න තරමට ජනාධිපතිතුමාගේ කාමරේ කවුරුත් බුදියන්නේ නෑ . ඒකෙ කවුරුහරි යහන්ගත වෙනවද කියන එක බරපතළ ප්‍රශ්නයක්.
නැත්නම් ජනාධිපතිතුමා යහන්ගත වෙන්න ඕන. එහෙම නැත්නම් කාර්ය මණ්ඩලය. මේ ගැන පරීක්ෂණයක් කරන්න. අගමැතිතුමනි, ඕනනම් අපිත් එන්නම් බලන්න. ඒක ජනාධිපතිතුමාගේ ආරක්ෂාවටත් හොඳයි. සභාවේ ආරක්ෂාවටත් හොඳයි. මේ විදියට මේ වගේ බඩු ගේන්න පුලුවන්ද. රුපියල් 342,000ක ඩබල් බෙඩ් එකක් ගෙනල්ලා තියෙනවා. සින්ගල් බෙඩ් එකක් නම් තව හිතන්න තිබුණා. ඊට අමතරව 273,000 පුටුවකුයි 119,000 මෙට්ටෙකුයි ගෙනල්ලා තියෙනවා.” යනුවෙනි