
ඔහු සිය රංගන ප්‍රතිභාව ප්‍රේක්ෂකයා වෙත නිර්භයව ප්‍රකාශය කළ රංගධරයෙකි. ඔහුට රංගනය කෙරෙහි පවතින ශක්‍යතාව කෙතරම් ශක්තිමත්ද යන්න අද වන විට සනාථ වී හමාරය. ඔහුගේ රංගනයෙහි ප්‍රබලත්වය ප්‍රේක්ෂක සිත් සතන් අණසකට ගෙන හමාරය. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගධර සම්පත් ජයවීර.
මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ කොහොමද?
මේ දිනවල මම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. ස්වර්ණවාහිනි නාළිකාවේ ‘කී’ සහ ‘කෝලම් කුට්ටම’ කියන ටෙලිනාට්‍ය දෙකෙහි රූගත කිරීම්වල නිරත වෙනවා.
ඒ වගේම වේදිකා නාට්‍ය තුනක වැඩ කටයුතුවලට සහභාගි වෙනවා. ‘ලෝරන්ස්ගේ මනමාලී’, ‘ජූලි මාසයේ දවසක්’ සහ ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ ඒ අතර වෙනවා.

ඔබ රංගනයෙන් දායක වුණු ඉගිළෙන මාළුවෝ මේ දිනවල තිරගත වෙනවා ඒ ගැන කතාකරමු?
මම එහි හමුදා සෙබළෙක්ගේ චරිතයට තමයි රංගනයෙන් පණ පොවන්නේ. චිත්‍රපටය අවුරුදු 13කට පස්සේ තමයි තිරගත වෙන්නේ. එහි ප්‍රචාරණ කටයුතුවලටත් සහභාගි වෙනවා. මේ චිත්‍රපටය කිසිම හේතුවක් නැතුව වාරණයට ලක් වුණා.
ඒ වගේම අයථා විධියට අව වහරෙන්ම කියනවා නම් ලීක් වෙලා සමාජගත වුණා. මේ නිසාම මේ සිනමාපටයට දැවැන්ත ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. එය දේශපාලන අතකොළුවක් බවට පත්වුණා. එවකට පැවැති දේශපාලන බලාධිකාරය විසින් එය දේශපාලන අතකොළුවක් බවට පත්කළා.
මේ නිසා සිනමාපටය තිරගත කරන්න ලැබුණේ නැහැ. මීට කලින් ප්‍රේක්ෂකයා අතරට ගියේ වර්ණ සංයෝජනය නොකළ, ශබ්ද සංයෝජනය නොකළ නිසි ආකාරයෙන් සංස්කරණය පවා නොකළ පිටපතක්. නමුත් හැමෝම හිතාගෙන ඉන්නේ චිත්‍රපටය බැලුවා කියලා. ඇතැමුන් එහි ලිංගික දර්ශන තළු මරමින් නැරඹුවා.
කෙසේ හෝ එය සැබෑ සිනමාපටය නොවෙයි. මේ තිරගත වන්නේ සැබෑ සිනමාපටය. මෙය සිනමා උළෙලවල් 30ක් නියෝජනය කරමින් සම්මාන රාශියක් ලැබූ සිනමාපටයක්. දැන් ඇවිත් තිබෙන සැබෑ සිනමාපටය නරඹන්න කියලා සැමටම යෝජනා කරනවා.

ලංකාව වගේ රටක ලිංගික දර්ශනයක් රඟදැක්වීම ආන්‍ෙදා්ලනාත්මක සිදුවීමක් බවට පත්වෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස?
බහුතරයක් පිරිසට තිබෙන්නේ නොදියුණු මානසික මට්ටමක්. මාධ්‍යවල සහ කලා ක්ෂේත්‍රයේ සිටි අය පවා මේ රංගනය සැබෑ රංගනයක් කියලා සිතුවා.
මෙය සැබෑ ලෙස ලිංගිකව හැසිරෙන විට රූගත කළා යැයි ඔවුන් සිතුවා. ඒක තමා මිනිස්සුන්ට තිබුණ ආතල් එක. මාත් සමඟ රංගනයෙහි යෙදෙන සමීපතමයන් පවා මෙය සැබෑ රංගනයක්ද කියා ඇසූ අවස්ථා තිබෙනවා.
මේ ගැටලුව වසර ගණනාවක් පුරාවට තිබුණා. ඒ වගේම හමුදාවට අපහාස කරන සිනමාපටයක්. රටට අපහාස කරන චිත්‍රපටයක් කියන ගැටලුව බහුතරයක් පිරිසට තිබුණා.
ඒක එහෙම නෙවෙයි. සැබෑ සිනමාපටය නැරඹුවා නම් මෙය තේරුම් ගන්න පුළුවන්.

කලා කෘතියක් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයාගේ සහ මාධ්‍යයේ හැසිරීම කලාකරුවෙක්ට බලපාන විධිය ගැන කතා කරනවා නම්?
එය කලාකරුවෙක්ට දැඩිව බලපානවා. මිනිස්සු මේ දේවල් බලන්නේ තමන්ගෙම කෝණයකින්. කොහේ හෝ සිටින දේශපාලන ප්‍රවාහයකට කඩේ යන තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් එක මොහොතකදී අපිව මුල්ලකට හේත්තු කළා.
ඒක ඉතා කනගාටුයි. විශේෂයෙන්ම රංගනය ගැන දන්න මිනිස්සු පවා එසේ හැසිරීම ලොකු කලකිරීමක්. විවිධ මාධ්‍යවලින් ඉතා නින්දිත ලෙස තානාපති කාර්යාලවලට පෙළපාළි යන පට්ටමට මේක වර්ධනය වුණා.
මට පැය හයක පමණ කාලයක් හතරවැනි තට්ටුවේ කටඋත්තර දෙන්න වුණා. මට පමණක් නොවෙයි ගයේෂා පෙරේරා, කෞෂල්‍යා ප්‍රනාන්දු පවා මෙයට මුහුණ දුන්නා.
අවසානයේ ඔවුන්ට මේ සිනමාපටයට දායකවුණ කුඩා දරුවන් පවා හතරවැනි තට්ටුවට ගෙන යන්න ඔවුන්ට වුවමනා වුණා. එයට අවසානයේ මවුපියන්ගේ දැඩි විරෝධයක් ආවා.
එහෙම තැනකට මේ සිනමාපටය ගෙනාවේ දෙතුන් දෙනෙක්ගේ වුවමනාව මත. එහෙම වුණාම යම් කිසි ආකාරයක ගැටලුවක් වෙනවා. පත්තරයකට ආටිකල් එකක් ගත්තත්, රූපවාහිනි සාකච්ඡාවකට ගියත් ඒක අවසන් වෙන්නේ ෆ්ලයින් ෆිෂ් ගැන කතා කරලා.
සිනමාපටය රඟපෑම ගැන මට කිසිදු පශ්චාත්තාප වීමක් නැහැ. නමුත් මොනදෙය වුණත් ෆ්ලයින් ෆිෂ් ගැන අහලා තමයි කතාව ඉවර වෙන්නේ. ඒක කරන්නෙම අපහසුවකට පත් කරන්න.
ඇතමුන් කියනවා මේකට සල්ලි පවා ලැබුණා කියලා. ඇත්තටම එහෙම එන්.ජී.ඕ. සල්ලි ලැබුණා නම් කලා ජීවිතය ඇතුළේ මෙහෙම කටුක ජීවිතයක් ගත කරන්න වුවමනාවක් නැහැ.

රංගන ශිල්පියෙක්ට වේදිකාවෙන් ලැබෙන අත්දැකීම් මොන වගේද?
ලංකාවේ මතයක් තිබෙනවා වේදිකාවෙන් එන අය තමයි දක්ෂම අය කියලා. ඒක ඇත්ත නමුත් ඕනෑම කෙනෙක්ට දක්ෂ නළුවෙක් වෙන්න පුළුවන් තමන්ගේ වුවමනාව තිබෙනවා නම්.
ඒකට වේදිකාවේම රඟපාන්න වුවමනා නැහැ. හැදෑරීමයි අවශ්‍ය. වේදිකාවේ රඟපාන අය දක්ෂ නළු නිළියන් වන්නේ වේදිකා නාට්‍යයක් සමඟ මාස ගාණක් ඔවුන් වැඩ කරනවා, ඔවුන් එම චරිතය සමඟ බැඳෙනවා , කතාබහ කරනවා. සංවාද කරනවා.
දේවල් වෙනස් කරගෙන කරලා බලනවා. මෙසේ අභ්‍යාසගත වීම නිසා ඔවුන් දක්ෂයන් බවට පත්වෙනවා. ටෙලිවිෂනයේදී ඔවුන්ට අභ්‍යාසගත වීමට, ගොඩනැඟීමට කාලයක් නැහැ. නමුත් පවතින තත්ත්වය නිසා වේදිකා නළුවන් ඉතා දක්ෂයන් බවට පත්වෙලා තිබෙනවා.

රාජිත දිසානායකගේ ‘ජූලි මාසයේ දවසක්’ නාට්‍ය ගැන කතා කරමු?
මම ජූලි මාසේ දවසක් නාට්‍යයේ පණ පොවන්නේ රට බේරගන්නට පැමිණි හැට නම ලක්ෂයෙන් එකෙක්ගේ චරිතයට. ඔහු හැම වෙලේම සිටින්නේ රට ජාතිය බේරා ගැනීමේ පිපාසයෙන්. ඔහු ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයෙක්.
එය ඉතා ගුණාත්මක නාට්‍යයක්. බලපු හැමෝගෙන්ම එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම, ජයනි සේනානායක, ගිහාන් ඩී. චිකේරා, උමයංගනා යන අය මෙයට රංගනයෙන් එක්වුණා. වසර එකහමාරකට ආසන්න කාලයක් අපි මේ නාට්‍ය සඳහා පුහුණුවීම් සිදු කළා.
කොරෝනා රැලිවලට නතර කරමින් එයට ගොදුරු වෙමින් අපි මේ නාට්‍යය සමඟ බැඳී සිටියා. එහෙම කැපවීමකින් තමයි අපි මේ නාට්‍යය සිදුකළේ. ලංකාවේ නාට්‍ය කලාවේ එතරම් සුබවාදී බවක් දකින්න නැහැ. නාට්‍යකරුවන්ම තමයි ඒ සඳහා වෙහෙසෙන්නේ. රජය කෙසේ වෙතත්.

කලාකරුවා දේශපාලනික විය යුතුද? ඔබේ අදහස?
කලාකරුවා අනිවාර්යෙන්ම දේශපාලනික වෙන්න ඕනේ. හැබැයි මේ දේශපාලනයට ගොදුරු වෙන එක හරි, ඡන්දය ඉල්ලන එක හරි, කවුරු හරි දේශපාලකයෙක්ගේ හෙංචයියෙක් වෙන එක හරි, ගොට්ට අල්ලන එක හරි ගැන නෙවෙයි මම මේ කියන්නේ.
ඔහුට දේශපාලන මතයක් තිබෙන්න ඕනේ තමා ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. ඒ සඳහා දේශපාලනයක් තිබෙන්න ඕනෑ මිසක් කාටවත් කඩේ යන්න හරි තමන්ගේ වරදාන වරප්‍රසාද උදෙසා මේ කටයුතු කරන්න නෙවෙයි.
අපේ තිබෙන කරුමෙට හැමෝම කරන්නේ ඒකෙ අනිත් පැත්ත.
ලාංකික සිනමාවේ නව ප්‍රබෝධය ගැන ඔබේ අදහස?
ඒක ඉතාම හොඳ දෙයක්. අපේක්ෂා කරන්න බැරි තරමේ දෙයක්.
ඒක පුදුම හිතෙන තත්ත්වයක්. සිනමා ශාලාවලට මිනිස්සු මෙහෙම එන්න ගත්තම එය රැකගෙන ඉතා ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයාට ලබාදෙමින් වර්ධනය කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕන.

ඉදිරි වැඩ කටයුතු කතා කරමු?
‘දිසිදි පත්’ සහ ‘ රහස් කියන කඳු’ කියන සිනමාපට නිකුත්වීමට නියමිතයි. තවත් නිර්මාණ කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම මගේ නිර්මාණ කිහිපයක් ඉටුකිරීමට බලාපොරොත්තු වෙනවා.
කොරෝනා රැලි, දේශපාලන රැලි සමඟ ඒවා ගසාගෙන ගියා. මගේම නාට්‍ය කිහිපයක් සහ සිනාමාපටයක් කිරීම තමයි ඉදිරි බලාපොරොත්තුව.
ගිහාන් සචින්ත
උපුටාගැනීම හදගැස්ම අතිරේකය
ඡයාරූප – අන්තර්ජාලයෙනි