නීතිඥවරයකුට පහරදුන්නැයි සිසුන් 6ක් දැලේ

කැස්බෑව අතුරු මාර්ගයක මිනිසුන් බලා සිටියදීම නීතිඥවරයකුට සහ ඔහුගේ පියාට අතින් පයින් සහ යකඩ පොලුවලින් පෙරේදා (08) පහර දුන් බව කියන පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් හයදෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. පහර කෑමෙන් තුවාල ලැබූ නීතිඥවරයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

පොලිසිය සඳහන් කරන පරිදි සිද්ධිය සිදු වී ඇත්තේ මෙසේය. නීතිඥවරයා සිය පියා සමඟ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයට කැබ් රථයකින් ගොස් කොළඹ පිහිටි නිවෙස කරා පැමිණෙමින් සිටියදී කහතුඩුව අධිවේගී පිවිසුමට ඇතුළු වන මාර්ග සංඥා අසල කැබ් රථය නතර කර තිබේ. එම අවස්ථාවේ සැකකරුවන් පැමිණි වෑන් රථය කැබ් රථයට වම් පසින් නතර කර ඇති අතර ඔවුන් කැබ් රථය දෙස බලාගෙන කෑකෝ ගසමින් හැසිරී ඇත.
පසුව කැබ් රථය පැදවූ නීතිඥවරයා කැස්බෑව හන්දියෙන් අතුරු මාර්ගයට වාහනය හරවා කොට්ටාව මිරිස්වත්ත මාර්ගයේ මාර්ග සංඥා අසල කැබ් රථය නතර කිරීමත් සමඟම ඊට පිටුපසින් පැමිණ වෑන් රථයේ රියැදුරු ඉන් බැස කැබ් රථයේ රියැදුරු අසුන අසල වීදුරුවට පහර දී තිබේ.
එවිට කැබ් රථයෙන් බැස ගත් නීතිඥවරයා එම පුද්ගලයාගේ ඡායාරූපයක් ජංගම දුරකථයෙන් ගැනීමට උත්සාහ කරීමේදී මෙම පහර දීම සිදු කරන විට නීතිඥවරයාගේ පියා ද කැබ් රථයෙන් බැස පුතු බේරීම සඳහා උත්සාහ කිරීමේදී වෑන් රථයේ සිටි අනෙකුත් පිරිස ද බැස විත් මේ දෙදෙනාටම පහර දී තිබේ.
නීතිඥවරයාට හා ඔහුගේ පියාට යකඩ පොල්ලකින් ද පහර දී ඇති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් සඳහන් වන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
පසුව මාර්ගයේ ගමන් ගත් සෙසු වාහනවල රියැදුරන් එම ස්ථානයට පැමිණීමත් සමඟ සැකකරුවන් පිරිස වෑන් රථයෙන් පලා ගොස් ඇති බව සඳහන්. එළෙස පලා ගිය පිරිසෙන් දෙදෙනෙක් පිළියන්දල මාම්පේ සහ වෑවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් සෙසු පිරිස පොලිසියට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. මෙම පිරිස පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් බව ද පොලිස් සඳහන් කරයි.
සැක සිසුන් පිරිස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.