නැඟෙනහිර ආණ්ඩුකාරවරිය සහ එමීර් රාජ්‍යයේ තානාපති අතර හමුවක්

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Masser Sulaiman Al Ameri මහතා අතර විශේෂ හමුවක් අද (13) දහවල් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී විශේෂ අවධානය යොමු වූයේ නැඟෙනහිර පළාතේ නව ආයෝජන අවස්ථා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට හඳුන්වාදීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ශාඛාවක් එරට ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා ස්ථාපිත කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකසන ලෙස ද තානාපතිවරයා ඉල්ලා සිටියේය.
සංචාරක සහ කාබනික කෘෂිකර්මය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය ලැබෙන අයුරින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක කලාපවල නව ප්‍රචාරණ වැඩපිළිවෙළවල් දියත් කරන ලෙස ද තානාපතිවරයා මෙහිදී ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක් කළේය.
ඒ පිළිබඳව ඉතා කඩිනමින් රජය දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරිය එහිදී කියා සිටියාය.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2030 වසර වන විට එරට සහ ලෝකයේ බොහෝ වටිනා මුහුදු කලාපවල කඩොලාන පැළ මිලියන 10ක් වගා කිරීම සදහා විශේෂ වැඩසටහනක් මේ වසරේ ආරම්භ කළ අතර එම වැඩසටහනට නැඟෙනහිර පළාතේ මුහුදු තීරය ඇතුළත් කර ගන්නා බව ද තානාපතිවරයා මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේය.
ත්‍රිකුණාමල සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයන්ගේ අවශ්‍යතාවන් සඳහා සුපිරි වෙළෙඳ සංකීර්ණයක් සහ අධි සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක අවශ්‍යතාවය ඇති බැවින් ඒ සඳහා ආයෝජකයකු සම්බන්ධ කර දෙන ලෙස ද ආණ්ඩුකාරවරිය මෙහිදී ඉල්ලීමක් කළාය.
හමුව අවසානයේ තානාපතිවරයා හා ආණ්ඩුකාරවරිය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විණි.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, වැඩබලන ආණ්ඩුකාර සහකාර ලේකම් ඒ.ජී.දේවේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.