තිලංගගෙන් මෛත්‍රීට සැර ලිපියක්

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවිය යුතු බව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටී.

සිය ලිපිය මඟින් ඒ මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවූ බවයි.
ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කළ යුතු නම් දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් පළාත් සභා ක්‍රමය ඉවත් කළ යුතුය. එමගින් උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් ඇති වීමේ අවදානම පහව යයි.

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කිරීමට පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කළ යුතු අතර එය මුළුමනින්ම ඉවත් කිරීම තුළින් නැවතත් බෙදුම්වාදයට ඉඩ තබමින් නැවතත් ජනවාර්ගික අර්බුදයට මුලපිරීමට ඉඩ සැලැස්වීමත් ලෙස පෙන්වා දිය යුතුය.

යම්තාක් දුරකට බලතල සහිතව විධායක ජනාධිපතිවරයෙක් සමස්ත මහජනතාවගේ ඡන්දයෙන්
තෝරා පත් වීම තුළින් සෑම ජන කොට්ඨාශයකටම ජාති ආගම්වාදයෙන් තොර ව සියලු ජාතීන්ට දේශපාලනික බලයක් මෙන්ම ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාවලියේ කොටස් කාරයකු වීමට අවස්ථාව සැලසේ.
එය ජාතික සංහිදියාව සඳහා ප්‍රයෝගික වූ ක්‍රමවේදයකි. තවද බල තුලනය හා විධායකය පිළිබඳව අප ගැඹුරින් සිතා කටයුතු කළ යුතු අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වඩාත් යෝග්‍ය යැයි මා යෝජනා කරමි.

සමගි ජන බලවේගය විසින් පසුගියදා විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ලබාදෙන ලද යෝජනාවලිය මගින්
සෘජු මහජන ඡන්දයෙන් තෝරා පත් නොවන පාර්ලිමේන්තුවෙන් පත් කරනු ලබන ජනාධිපතිවරයෙකු පත් කිරීමට යෝජනා කර තිබේ.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඔබතුමා විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කරමින් ඒකීය රාජ්‍යයක් තුළ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා වන පරිදි බලය අත්හළ නායකයෙකු ලෙස ලොවටම ආදර්ශයක් ලබා දෙන ලදී.

නැවතත් පොදු මහජනතාවට හිතැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත්වීම ලබා දීම අත් නොහැරිය යුතු කාරණාවකි.
සමගි ජන බලවේගය වැනි පක්ෂ තුළින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ඩයස්පෝරාවේ අවශ්‍යතාවය අනුව හැසිරෙන බව පෙනී යන බැවින් අප පක්ෂය ඒ සඳහා කිසිදු සහයෝගයක් ලබා දී නොදිය යුතු අතර ඊට විරුද්ධව හඬ නැගිය යුතුය.