අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලක පාසල් සිසු සිසුවියන් 19ක් ඇතුළුව පුද්ගලයන් 21 දෙනකු වෙඩි තබා ඝාතනය කළ 18 හැවිරිදි පාසල් සිසුවා මේ වෙඩි ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර එම වෙඩි ප්‍රහාරය පිළිබඳ මුහුණු පොතේ පණිවිඩයක් තබා ඇතැයි ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබේ.
පෙරේදා මේ වෙඩි තැබීම සිදු වූයේ දකුණු ටෙක්සාස් හි ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි ප්‍රාථමික විදුහලකදිය. තුවක්කුකරු 18 හැවිරිදි තරුණයකු වන අතර, ඔහුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය සිසුන් අවුරුදු 7-10 වයස් කාණ්ඩයේ පසුවූවන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
වෙඩි ප්‍රහාරය අතරතුර පොලීසිය විසින් එල්ල කළ වෙඩි තැබීමකින් තුවක්කුකරු ද ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු එම පළාතේ උසස් පාසලක සිසුවකු බව ද වාර්තා විය. වෙඩි ප්‍රහාරය එල්ල කළ සැල්වදෝර් රාමෝස් නමැති සිසුවාගේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර එම ප්‍රාථමික පාසලේ ගුරුවරියන් දෙදෙනකු සිටින බව වැඩිදුරටත් වාර්තා විය.
ඝාතකයා සිය වෙඩි ප්‍රහාරයට පෙර ඔහුගේ මිත්තණියට වෙඩි තබා ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින 66 හැවිරිදි ඔහුගේ මිත්තණියගේ සහ තවත් 10 හැවිරිදි සිසුවියකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් පසු ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් කටයුතු කර තිබූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයෝ සිදුවීම හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළහ.
