
කලින් කලට ලෝකයේ බොහෝදෙනෙකු කතාබහ කරන රාජ්‍යයක් ලෙස දැක්විය හැක්කේ මියන්මාරයයි. මියන්මාරය සම්බන්ධයෙන් කතාබහ කිරීමේදී නොයෙක් සිදුවීම් හා ලිංගික ප්‍රචණ්ඩත්වය, ඝාතන, වධහිංසා පැමිණවීම් සහ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදුවන අපරාධයන් රාශියක් තිබේ. එහෙත් එක් මාතෘකාවක් පමණක් කරළියට පැමිණෙන්නේ එය ලෝකයේම සාකච්ඡාවට බඳුන් වන සිදුවීමක් වෙමිනි.
එම සිදුවීමේ ප්‍රධාන චරිතය වන්නේ කාලයක් නිවාස අඩස්සියේ සිටිමින් ජුන්ටාවේ බලපෑමට ලක් වෙමින් සිටිනා කාන්තාවක් වන අවුන්සාන් සුකීය. මියන්මාරය පිළිබඳව ලෝකයේ කතාබහක් ඇති කරන චරිතය වන්නේද ඇයයි. වර්තමානයේ ඇය සම්බන්ධයෙන් ලෝකයම කතාබහට එක්වූයේ ඇයට තවත් වැඩිපුර වසර හතක් දඬුවම් උරුම කරදීමට මියන්මාර හමුදා අධිකරණය තීරණය කිරීමත් සමඟිනි.

අවුන් සාන් සුකී
1945 ජුනි 19 වැනිදා බ්‍රිතාන්‍ය පාලනයේ පැවති බුරුමයේ රැන්ගුන්හි උපත ලද සුකීට තම පියා අහිමි වූයේ 1947 වසරේදී බ්‍රිතාන්‍යයෙන් බුරුමය නිදහස ලබාගත් වසරේදීමය. එතැන් පටන් ඇය හැදී වැඩුණේ මව සහ තම සහෝදරයන් දෙදෙනාද සමඟිනි. ඇයට දේශපාලනය පිළිබඳව මෙන්ම විවිධ අදහස්වලින් පෝෂිත වූ පිරිස් සමඟ අදහස් හුවමාරු කිරීමට අවස්ථාව ලැබුණේ ඔවුන් තම පදිංචිය වෙනස් කොට නව නිවසකට පදිංචියට යෑමත් සමඟිනි. ඒ වන විට ඇය මෙතෝදිස්ත ඉංග්‍රීසි උසස් පාසලේ අධ්‍යාපනය හදාරමින් හුන් අතර, පසුකාලීනව බුරුම, ඉංග්‍රීසි, ජපන් සහ ප්‍රංශ භාෂාව කතා කිරීමට සමත් තරුණියකව නව ලෝකයට පිවිසියාය.
මියන්මාරයේ ඉන්දියානු තානාපතිනිය ලෙස පත් කළ සිය මව සමඟ 1960දී ඉන්දියාව බලා ගිය සුකී වසර හතරකට පසු එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය, දර්ශනය හා ආර්ථික විද්‍යාව හැදෑරීය. විවාහයෙන් පසුව භූතානයේ හා ජපානයේ රැකියාවන්හි නිරත වූ ඇය, තම පුතුන් දෙදෙනාගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් එංගලන්තයේ නතර වූවාය. පසුව ඇය මියන්මාරයට පැමිණියේ රෝගීව සිටි තම මව බැලීම සඳහාය.
එහෙත් සුකීගේ සියලු සිදුවීම්වල හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඇය දේශපාලනයට පිවිසීමයි. සුකී තම දේශපාලන ජීවිතය ආරම්භ කරනු ලැබුවේ මියන්මාරයේ අගනුවර ශ්වේදගොන් චෛත්‍ය ඉදිරිපිට මහජන රැලියක් අමතමින් 1988 අගෝස්තු 26දාය. එහෙත් වාසනාවන්තම දිනයක් ලෙසින් සලකනු ලැබූ 1988 අගෝස්තු 8 වැනිදා (88/8/8) මියන්මාරයේ පාලකයා ලෙසින් කටයුතු කරනු ලැබූ මියන්මාර හමුදාවේ දීර්ඝ කාලීන නායකයා මෙන්ම පාලක පක්ෂයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කළ ජෙනරාල් නේවින්, සුකී තම දේශපාලන කටයුතු ආරම්භ කරනවාත් සමඟ ඉන් ඉවත්විය.
කෙසේ වෙතත් අවුන් සාන් සුකී මියන්මාරය තුළ තම දේශපාලන කටයුතු ආරම්භ කරමින් පැවැත්වූ රැලියට මිලියන භාගයක පමණ ජනතාවක් සහභාගී වූහ. එහෙත් එවර බලයට පත්වීමේ අවස්ථාව ලබාගත්තේ නව හමුදා ජුන්ටාවයි. ඒ 1988 වසරේ සැප්තැම්බර් මාසයේදීය. මේ සියලු කටයුතු හමාරවීමෙන් පසු ඇය බෞද්ධ සංකල්පය මුල් කර ගනිමින් සහ මහත්මා ගාන්ධිගේ දර්ශනය සම්බන්ධ කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එක්විය. එහෙත් ජනතාව සමඟ ගැටෙමින් ඇයට දේශපාලන කටයුතු කිරීමට හමුදා ජුන්ටාව ඉඩ ලබා දුන්නේ නැත. 1989 ජූලි 20 වැනිදා සිට නිවාස අඩස්සියේ සිටින්නට ඇය සිදු විය.

නිවාස අඩස්සියේ
අවුන්සාන් සුකීට තම දේශපාලන ජීවිතය ආරම්භ කළ දා සිට උරුම වූයේ නිවාස අඩස්සියයි. 1989 ජූලි 20 දා සිට ඇයට විදේශීය අමුත්තන් මෙන්ම තම පක්ෂයේ ආධාරකරුවන් හමුවීම් පවා ජුන්ටාව විසින් තහනම් කර තිබුණි. එහෙත් නිවාස අඩස්සියේ සිටින කාලය තුළ ඇයට මියන්මාරයෙන් පිටවයාමට ජුන්ටාව විසින් අවසර ලබාදුන්නේ සුකීට කිසිදු දිනක එරටට පැමිණීම තහනම් කරනු ලැබූ කොන්දේසියත් සමඟිනි.
මේ කොන්දේසියට එකඟ නොවූ ඇය නිවාස අඩස්සියේ වුවද දිගටම මියන්මාරයේ රැඳී සිටින්නට තීරණය කළාය. කලක් යන විට විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම පෞද්ගලික වෛද්‍යවරයා හමුවීමට ඇයට අවස්ථාව ලැබිණි. මේ කාලය තුළ ඇය දේශපාලන චරිතාපදාන කියවීමට උත්සුක වූ අතර, පසුකාලීනව සම්මුඛ සාකච්ඡාවකදී පවසන ලද්දේ දර්ශනය පිළිබඳ පොතපත මෙන්ම පියානෝවද වාදනය කළ බවයි. කෙසේ වෙතත් 1998 වසරේදී මාධ්‍යවේදියකු ඇයගේ ඡායාරූප ලබා ගැනීමත් සමඟ මාධ්‍යවේදීන්ට ඇය හමුවීමේ අවස්ථාව ලබා නොදීමට බලධාරීන් තීරණය කරන ලදී.
1989 සිට 2010 කාලය අතරතුර සුකී වසර 15කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ රඳවා තබනු ලැබීය.
නොබෙල් සාම ත්‍යාගය සුකීට
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානවහිමිකම් වෙනුවෙන් වූ අරගලය උදෙසා අවුන්සාන් සුකීට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නෝර්වීජියානු නොබෙල් කමිටුව තිරණය කරනු ලැබුවේ 1991 වසරේදීය. ඊට පෙර සුකී විසින් 1990 වසරේදී Rafto ත්‍යාගය සහ Sakharor ත්‍යාගය ද දිනා ගැනීමට සමත් විය. මෙහි විශේෂත්වය වන්නේ ඇය මේ සියලු ත්‍යාගයන් දිනාගනු ලැබුවේ නිවාස අඩස්සිය තුළදී වීමයි.
කෙසේ වෙතත් මියන්මාර හමුදා අධිකරණය විසින් පසුගිය වසර අවසානයේදී අවුන් සාන් සුකීට තවත් වසර හතක සිර දඬුවම් නියම කිරීමට තීරණය කරන ලදී. 2021 පෙබරවාරි මාසයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් ඇය හා රජය නෙරපාදැමීමෙන් පසුව ඇය නිවාස අඩස්සියේ තැබීමට හමුදා අධිකරණය කටයුතු කළේය.
2021 පෙබරවාරි මස පළමු දිනයේම මියන්මාර හමුදාව විසින් එරට පාලනය සියතට ගැනීමට පෙර සුකී හා තවත් දේශපාලනඥයන් ගණනාවක්ම අත්අඩංගුවට ගනු ලැබුවේ 2020 නොවැම්බර් මැතිවරණය සම්බන්ධයෙන් හටගත් මතභේදාත්මක තත්ත්වය මතයි. එහෙත් 2020 නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් සුකී හා ඇයගේ පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ද සමත් විය.

මේ කරුණු නිසාවෙන්ම මැතිවරණය අවසන්ව පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට සූදානම් වෙත්ම නිවේදනයක් මඟින් මියන්මාර හමුදාව ප්‍රකාශ කර සිටියේ මැතිවරණ වංචාවන් සිදුව ඇති හෙයින් හමුදා නායකත්වයට බලය පවරන බවයි. ඒ සමඟම ඔවුන් ජනතාවගේ නොසන්සුන් බව මැඬපැවැත් වීමේ අරමුණින් වසරක කාලයක් සඳහා හදිසි නීති තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබීය.
2011 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ආරම්භවනතුරු මියන්මාරය පාලනය කරනු ලැබුවේ එරට හමුදාව මඟිනි. ඉන්පසු 2015 වසරේදී පළමුවරට විවෘත මැතිවරණයක් පැවැත්වීමත් සමඟ අවුන්සාන් සුකී විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. එහෙත් ඊට පෙර 1990දී ජාතික මැතිවරණයෙන් සුකී ජයග්‍රහණය ලැබූවද ඇයට පාලනය පැවරීමට මිලිටරි ජුන්ටාව ප්‍රතික්ෂේප කළහ. ඒ වෙනුවට ඇයට ලැබුණේ 1995 වනතුරු වසර පහක නිවාස අඩස්සියකි
වසර 33ක සිර දඬුවම්
2021 වසරේ මාර්තු මාසයේදී ද හමුදාව විසින් සුකීට හමුදා චෝදනා ගොනු කළ අතර, එම වසරේ මාර්තු 24 දා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම වසරේ හමුදා කුමන්ත්‍රණ වූ දින සිට ඇයට එරෙහිව එල්ලවූ චෝදනා වූයේ කොවිඩ් නීති උල්ලංඝනය කිරීම මෙන්ම නීති විරෝධීව වෝකි-ටෝකි යන්ත්‍ර ගෙන්වීම පිළිබඳ ගැටලුය. මෙතැන් පටන් ඇයට චෝදනා 19ක් යටතේ මාස 18ක් පුරා නඩු විභාගවලට මුහුණදීමට සිදු විය. මෙකී චෝදනාවන් අසත්‍ය තොරතුරු මත පදනම්ව ඇති බව මානව හිමිකම් කණ්ඩායම් ප්‍රකාශ කිරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටියේ අවුන්සාන් සුකී නිදහස් කර දෙන ලෙසයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් අවසානයේ මියන්මාර හමුදාව ගොනුකළ චෝදනා පහකට සුකීට දඬුවම් නියම කෙරිණි. ඒ අතර වෝකි-ටෝකි ආනයනය කිරීම, කොවිඩ් නීති කඩකිරීමට අමතරව රජයේ ඇමැතිවරයකුට හෙලිකොප්ටරයක් කුලියට දීමේදී නීතිරීතිවලට අනුකූල නොවීම යන කරුණු මත දූෂණ චෝදනාවන්ට ඇය වරදකරු බවට අධිකරණය තීන්දු කරන ලදී.
මීට පෙර නිල රහස් පනත උල්ලංඝනය කිරීම යන කරුණු ඇතුළු වරද 14 කට ඇය වරදකාරිය කර තිබුණි.
මෙම වසරේදී නඩු විභාග මහජනතාවට මෙන්ම මාධ්‍යයට ද ආවරණය කිරීම තහනම් කර ඇති අතර, ඇයගේ නීතිඥයන්ට ද මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා පැවැත්වීම තහනම් කර තිබිණි. එහෙත් මේ සියලු කටයුතු අතරේ 77 හැවිරිදි අවුන්සාන් සුකී පවසන්නේ තමා මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම නඩු වාරයට පෙර පැවති නඩු වාරයන්හිදී ඇය සිදු කළ වැරැදි සම්බන්ධයෙන් වසර 26ක සිර දඬුවම් නියම කර තිබුණි. නව හමුදා අධිකරණ තීන්දුවත් සමඟින් ඇයට තවත් වසර 7ක දඬුවම් කාලයක් නියම විය. ඒ අනුව ඇය සිරගතව සිටිය යුතු මුළු වසර ගණන 33ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රජිත බස්නායක
උපුටා ගැනීම -දිනමිණ පුවත්පත
