
ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගම සමඟ එක්ව සංවිධාන කරන ජාතික ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලිය මේ මස 11 සිට 13 වැනිදා දක්වා තෙදිනක් පැවැත්වේ.
තරගාවලියේ මූලික වටයේ තරග 11-12 දෙදින ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය 13 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ තරගාවලිය සඳහා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම අඛණ්ඩව අනුග්‍රහය දක්වන සිවුවැනි අවස්ථාව මෙයයි.
කණ්ඩායම් 35කට අධික සංඛ්‍යාව එක්වන මෙවර තරගාවලිය ක්‍රීඩිකාවන්ගේ ප්‍රමුඛ දක්ෂතා හඳුනා ගැනීමේ තරගාවලිය ලෙස සැලකෙන අතර, මේ වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා ජාතික කණ්ඩායම සූදානම් කිරීමේ තරගාවලියක් ලෙස ද පැවැත්වෙනු ඇත.
“ආසියානු කිරුළ දිනා ගැනීමට අපට දැවැන්ත ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිකර ගැනීමට ඉඩ සැලසුවා සේම එය අපගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට හේතුවක් වුණා. මේ ජයග්‍රාහී රිද්මය මේ වසර අවසානයේ පැවැත්වෙන ලෝක කුසලානය දක්වා ද ඉදිරියට ගෙන යාමට හැකි බවට කණ්ඩායමට වගේම අපටත් විශ්වාසයි.” යැයි පැවසූ නෙට්බෝල් සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය සුවිශේෂී පාර්ශ්වකරුවකු ලෙස තම සම්මේලනය සමඟ නිරතුරුවම රැඳී සිටින ඩයලොග් ආසියාටා සමාගමට සිය ස්තූතිය පිරිනැමුවාය.
“මෙවැනි මට්ටමේ තරගාවලියක් පැවැත්වීම පිණිස ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සමඟ එක්වීමට ලැබීම, ශ්‍රී ලාංකේය දක්ෂතා ඔසවා තැබීමට සහාය දක්වන ආයතනයක් ලෙසින් අපට ගෞරවයක්” යැයි අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සීහී, සමූහ අලෙවි, සන්නාම සහ මාධ්‍ය-උපසභාපති හර්ෂ සමරනායක මහතා පැවසීය.
අවසන් වරට පැවති ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු 49-47ක් ලෙසින් තියුණු ජයක් සමඟ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම පැරදවූ එච්එන්බී කණ්ඩායමට හැකි විය.