ගෝඨාගෝගමට පහර දීමට එරෙහිව මහින්ද ඇතුළු පිරිසකට නොතීසි

ඉකුත් මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයට එක්වූ පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් ඇතුළු පිරිසක් ගාළුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී සාමකාමි අරගලකරුවන්ට අමානුෂික ලෙස පහර දීමට එරෙහිව අරගලකරුවන් පස් දෙනකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.
පෙත්සම් විභාගය ලබන වසරේ ජූ‍‍නි මස 22 වැනිදා ආරම්භ කිරිමට විනිසුරු මඩුල්ල දින නියම කල අතර අද දිනයේදී පෙත්සම් කැඳවනු ලැබුවේ විජිත් මලල්ගොඩ,ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේය.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙසහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.
නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කරුවන් වෙනුවෙන්පෙනි සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ සවින්ද්‍රවික්‍රම මහතා පෙනී සිටියේ ය.