ගොවි සහන වැළැක්වීමට වැට බැන්ද අය ගැන විමර්ශනයක්

2022/23 මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට සහන සැලසීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දුන් මුදල් ගිණුම්වලට බැර කිරීමේ දී ඇතැම් නිලධාරින් විසින් හිතාමතා වැරදි ගොවි ගිණුම් අංක ලබා දී ඇති බව ‌ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා වැරදි ගිණුම් අංක ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කළ නිලධාරින් සම්බන්ධව වහාම විමර්ශණ අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිනි.
ඒ අනුව මේ වනවිට ව්‍යාජ ගිණුම් අංක ලබා දුන් බවට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හා තාක්ෂණ නිලධාරින් 11 දෙනෙක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විමර්ශණ ආරම්භ කර ඇති බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව තමන්ට තොරතුරු ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.
ආසියානු සංවර්ධන බැංකුව විසින් මහ කන්නයේ වී වගා කරන සියලුම ගොවීන් සඳහා සහන සැලසීමට මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 8000ක මුදලක් මෙරටට පිරිනමනු ලැබීය.
ඒ යටතේ හෙක්ටෙයාර් 01ක් සඳහා රුපියල් 10,000ක් හා හෙක්ටෙයාර් 02ක් සදහා රුපියල් 20,000ක් වශයෙන් ගොවීන්ගේ ගිණුම්වලටම මුදල් බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිනි. ගොවින් ලක්ෂ 12කට මෙම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු යොදා තිබිනි.
නමුත් එසේ බැර කරන ලද රුපියල් මිලියන 1300ක මුදලක් ගිණුම් අංක වැරදියට ලබා දීම නිසා ගිණුම්ගත නොවී ආපසු ලැබි තිබිනි. මේ සම්බන්ධව සිදු කළ විමර්ශණවල දී හෙළි වුයේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එකී නිලධාරීන් විසින් ලබා දුන් ගොවි ගිණුම් අංක නිවැරදිව නොමැති බවයි.
එමෙන්ම සමහර ගොවිජන සේවා බලප්‍රදේශවල කිසිදු ගොවියෙකුගේ ගිණුම් අංක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා නොදීමට ඇතැම් නිලධාරින් කටයුතු කර තිබිනි.
ඊයේ (22) ගොවි නියෝජිත පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.