ගුරු පත්වීම් 33,000ක්

නව ගුරුවරුන් 33,000කට මැයි මාසයේ මැද වනවිට පත්වීම් දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එමෙන්ම මැතකදී විශ්වවිද්‍යාලවලින් පිටවූ උපාධිධාරීන් ද පළාත් මට්ටමෙන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමුකර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ,
“ගුරු ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව 7,500ක් විද්‍යාපීඨ ගුරුවරුන්ගේ ප්‍රතිඵල මේ වන විට විභාග දෙපාර්තමේන්තුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට යවලා තියෙනවා. එහි සමීක්ෂණයෙන් පස්සේ මාර්තු 31 වනවිට ප්‍රතිඵල අවසාන වශයෙන් නිකුත්වෙනවා. ඒ අනුව ජාතික පාසල් සහ පළාත් පාසල් සඳහා දිස්ත්‍රික්ක සහ පළාත් අනුව පළාත්වලට අපි යොමුකරනවා. පළාත් පාසල්වල ගුරු හිඟය අවම කිරීම සඳහා විද්‍යාපීඨ පත්වීම් ලබාදෙන්න. ජාතික පාසල්වල ගුරුවරුන් අමාත්‍යාංශ මගින් පත්වීම් ලබාදෙන්න සැලසුම් කරලා තියෙනවා. බොහෝදුරට අප්‍රේල් මාසය අවසන් වෙන්න කලින් විද්‍යාපීඨ ගුරුවරු 7,500ක් ස්ථානගත කරන්න හැකියාව ලැබේවි”

“ඊට අතිරේකව උපධිධාරීන් 26,000 බදවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවලා මේ වන විට විභාග අයඳුම්පත් යවලා තියෙනවා. විභාගය මේ සෙනසුරාදා පැවැත්වෙනවා. ඒකට 53,000ක් උපාධිධාරීන් පෙනී සිටිනවා. ඒ පෙනී සිටිමෙන් පස්සේ ලැබෙන ප්‍රතිඵල අපි සති දෙකක් උත්තර පත්‍ර සමීක්ෂණයට සැලසුම්කරලා තියෙනවා. ඒ ප්‍රතිඵල අපි පළාත්වලට භාරදෙනවා. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ පළාත් පදනමින් පත්වීම් ලබාදෙන්න එ් සියලුම ගුරවරුන්ට.. මේ ක්‍රම දෙක තුළන් ගුරුවරු 33,000කට පමණ මැයි මාසයේ මැද වන විට පත්වීම් දීලා අවසන් කරන්න පුළුවන් මේ කාණ්ඩ දෙකෙන්ම. “මීට අමතරව අපි සමීක්ෂණයක් කරගෙන යනවා විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, තාක්ෂණය උසස්පෙළ සඳහා ගුරුවරුන්. ඒ පිරවීමෙන් පස්සෙත් කොපමණ අඩුද කියන එක ගණනය කරලා ඒවා වෙනම අපි පළාත් මඟින් බඳවාගන්නා ආකාරයට ළඟදී විශ්වවිද්‍යාලයෙන් පිට වුණ උපාධිධාරීන්ට ඒ සඳහා පළාත් මට්ටමින් පත්වීම් ලබාගන්න අවස්ථාව ලැබෙනවා “