
උපේක්ෂා ස්වර්ණමාලි
ආදරණීය දියණියත් සමඟ ගෙවන ජීවිතේ කොහොමද?
ඔව්. දියණියත් සමඟ ගෙවන හැම මොහොතක්ම හරිම ආදරණීයයි. සුන්දරයි. දුවගේ හිනාව තරම් සුන්දර දෙයක් මේ ලෝකේ තව දකින්න නැහැ කියලයි මං හිතන්නේ.
දුවගේ වයස දැන් අවුරුදු හයයි. එයා හැමදේම ගැන ගවේෂණය කරලා බලන්න කැමැති කෙනෙක්. මං හරි සතුටුයි ඇත්තටම දුව ගැන.
මේ දිනවල නිරත වන කලා කටයුතු මොනවද?
ස්වාධීන රූපවාහිනියේ මේ දිනවල විකාශය වන දිව්‍යාදරී නාට්‍යයේ රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා. ඊට අමතරව වැකේෂන් කියලා අලුත් නාට්‍ය නිර්මාණයක රූගත කිරීම් සිදු වෙනවා.
නර්තනය පැත්තෙන් Stargazer ප්‍රසංගයට සහභාගි වුණා. ඩුබායි ෂෝ එකකටත් ආරාධනා ලැබිලා තිබෙනවා.

මෑතක සහභාගි වූ සිනමා නිර්මාණ ගැන කතා කළොත්?
මායා චිත්‍රපටයේ දෙවැනි කොටස සඳහා පුබුදු චතුරංග පිටපත් රචනා කරලා අපට බාරදීලා තිබෙනවා. එයාම තමයි අධ්‍යක්‍ෂණය කරන්නෙත්. මුහුරත් උළෙලත් පැවැත්වූවා.
නමුත් තවමත් දින නියමයක් නැහැ රූගත කිරීම් සඳහා. වෙනත් සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණා. මගේ විධියට නොගැළපෙන නිසා මම එය ප්‍රතික්ෂේප කළා.
ඇත්තටම රඟපාන්න ආසාවෙන් ඉන්න සහ මට කරන්න පුළුවන් කියල හිතෙන නිර්මාණ ලැබෙනවා අඩුයි කියලා හිතෙනවා දැන්.
සිනමාවේ හෝ පුංචි තිරයේ චරිත තෝරාගැනීමේදී යම් තේරීමක් සිදු කරනවද ඔබ?
චරිත තෝරාගැනීමේදී මට සිනමාවද, පුංචි තිරයද කියලා විශේෂත්වයක් නැහැ. මං දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 18ක් විතර වෙනවා.
එතකොට අපේ ආධුනික තත්ත්වයක් දැන් නැහැනේ. ඒ වටිනාකම එහෙමම රඳවාගෙන, අපේ හැකියාවේ වටිනාකම සහ මූල්‍යමය පැත්තෙන් පවා වටිනාකමක් ලැබෙන, අපට නිසි ගරුත්වයක් ලබාදෙන නිර්මාණ තමයි මම තෝරගන්නේ.
නමුත් එහෙම නිසි වටිනාකමක්, ගරුත්වයක් ලබා නොදෙන නිර්මාණ සඳහා ගොඩක් ආරාධනා ලැබෙනවා. එවැනි නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා.

මෙතෙක් රංගනයෙන් දායක වූ නිර්මාණ අතරින් ඔබේ සිත් ගත් චරිතය මොකක්ද?
රනිල් කුලසිංහ අධ්‍යක්‍ෂණය කළ පානාමංකඩ ටෙලිනාට්‍යයේ ලොක්කිගේ චරිතය තමයි මං සිත්ගත්ම චරිතය. ඒ නාට්‍යයට තේමා වුණේ පාරම්පරික උඩරට නැටුම් සම්ප්‍රදාය.
දූවරුන් පස් දෙනෙක් සිටින පවුලක වැඩිමහල් දියණියගේ චරිතය තමයි මට ලැබුණේ. මම හරි ආසාවෙන් සහභාගි වුණ නිර්මාණයක්. හොඳ ප්‍රතිචාරත් ලැබුණා ඒ චරිතයට.
ඔබ පහුගිය කාල වකවානුවේ මෙගා නාට්‍ය රැල්ලෙන් ඉවත් වී තිබුණා. මෙගා එපා වුණාද?
එහෙමමත් නැහැ. පබා නාට්‍යයෙන් පසුව මට මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්න බැරිවුණා දේශපාලනයට සම්බන්ධ වූ නිසා. නමුත් ඊට පසු නිර්මාණ කිහිපයකටම සහභාගි වුණා.
ආත්මා, ස්නේහා, අහස් මාලිගා වැනි මෙගා නාට්‍යවලට සහභාගි වෙලා තිබෙනවා. මේ දිනවල විකාශය වන දිව්‍යාදරී නාට්‍යයත් මෙගා නාට්‍යයක්. මං මෙගා නාට්‍යවලට ගොඩක් කැමැති කෙනෙක්.
මූල්‍යමය පැත්තෙන් වුණත් අපට වාසියිනේ. අනික කාලයක් එකම නිර්මාණයක නියැළෙන විට අපට ඒ අදාළ චරිතයේ ජීවත්වෙමින් රඟ දක්වන්නට පුළුවන් වෙනවා.

වර්තමානයේ ටික් ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලාවලින් ක්ෂේත්‍රයට පැමිණෙන නවක නළු නිළියන් පිළිබඳව ඔබ දරන අදහස මොකක්ද?
ටික් ටොක් වැනි මාධ්‍ය තුළ පවා දක්ෂ ළමයි ඉන්නවා. එහෙම හැකියාවක් නැති අයත් ඉන්නවා. ටික් ටොක් වැනි සමාජ මාධ්‍යවල තිබෙන ඛේදනීය තත්ත්වය තමයි වැඩි මහන්සියක් නැතිව එක එක ෆිල්ටර්ස් භාවිත කරලා ලස්සන වෙන්න පුළුවන්.
එහිදී ගෑනු ළමයි ගත්තොත් ශෘංගාරය නිසා හෝ ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින් මේ දේවල් කරනවා. මං දකින දෙයක් තමයි ටික් ටොක් මඟින් ජනප්‍රිය වන චරිත බහුතරයකට සිනමාවට හෝ පුංචි තිරයේදී ඒ අදාළ චරිත සාර්ථක කර ගන්න අමාරුයි.
ඔවුන්ට සිනමාවේ හෝ පුංචි තිරයේ නිසි දැනුමක්, අවබෝධයක්, ප්‍රායෝගික දැනීමක් නැහැ ඇත්තටම. මට කියන්න තිබෙන්නේ ඇප් එකකින් තමන් ලස්සනට පෙනුණා කියලා “මම මාර නිළියක්”, “මම මාර නළුවෙක්” කියන සිතිවිල්ලෙන් ඉන්න එපා කියලා.
නවක අය ක්ෂේත්‍රයට එන මුල් කාලේ සෙට් එකක ඉන්නකොට මං දකින දෙයක් තමයි සෙට් එකේ අයට කිසිම ගරුත්වයක් නැහැ. ඒ අය සමස්තයක් විධියට ක්ෂේත්‍රයට ගරුත්වයක් නැති නිසා එහෙම හැසිරෙනවාද කියලත් හිතෙනවා.
හැබැයි ගරුත්වයෙන්, සහයෝගයෙන් කටයුතු කරන හැකියාවෙන් පරිපූර්ණ අයත් මේ අතර ඉන්නවා.

පසුගිය දිනක ඔබ එක්තරා ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකාවකදී ඇතැම් නවකයන් නිසා ඔබ අත්විඳි සිදුවීමක් පිළිබඳව ඍජු ප්‍රකාශයක් සිදු කළා. මොකක්ද එයට හේතුව?
මම රංගනයෙන් දායක වන එක් නිර්මාණයක එක්තරා තරුණ නළුවෙක් හිටියා. ඒ ළමයට සිංහල පුළුවන් හොඳට. නමුත් රඟපාන්න බැහැ.
ඉතින් ඒ වගේ ළමයෙක්ව ජනප්‍රිය කරන්න අපේ ජනප්‍රියත්වය ඒ නිර්මාණවලට යොදා ගැනීම හරිම අසාධාරණයි. මට හරි ප්‍රශ්නයක් ඒක.
ඒ සිදුවීම ගැන තමයි කතිකාවක් ඇතිවුණේ. ඒ නිර්මාණය තුළ සිදුවුණේ අපේ ජනප්‍රියත්වය යොදාගෙන කිසිම හැදෑරීමක් නැති, ගරුත්වයක් නැති නවකයෙක්ව ජනප්‍රිය කරන්නට උත්සාහ කිරීම.
ඇත්තටම මට එහෙම ප්‍රධාන චරිතය ගන්න ඕනි කියන උණක් නැහැ. මම ඕනි තරම් සෙසු චරිත රඟපාලා තිබෙනවා. නමුත් ගරුත්වයක් නැතිව වැඩ කරන කෙනෙක් ලැබුණොත් මමත් එයාලව ප්‍රතික්ෂේප කරනවා.

රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ඔබේ අදහස මොකක්ද?
හරිම ඛේදනීයයි. මගේ අදහස නම් මේ රට ස්වයංපෝෂණය කරන්න හරිම පහසු රටක්. කෘෂිකර්මය ගත්තත්, හිරු එළිය ගත්තත් අසීමිත සම්පත් ගොඩක් අපට තිබෙනවා.
විදුලි බලයට මෙතරම් අධික මුදලක් වැය කරගෙන නඩත්තු කර ගන්නත් බැරිව පාඩු ලබමින් ඉන්න මොහොතක සෝලා පවර් සිස්ටම් වැනි සම්පත් යොදා ගන්න පුළුවන්.
නමුත් පාලකයන්ට ඒ ගැන කිසිදු අදහසක් නැහැ. අපට දියුණු වෙන්න ඕන තරම් සම්පත් තිබෙනවා. නමුත් එකකින්වත් ප්‍රයෝජනයක් නොගන්න බලධාරීන් ඉන්න රටක්.
නිලධාරීන් පවා මේ සඳහා වගකියන්න ඕන. හිටපු පාලකයන්ම නැවතත් පාලනයට එයිද කියන බය, සැකය හොඳටම තිබෙනවා. පවතින ක්‍රමය වෙනස් කරන්න සුදුසු හොඳ බුද්ධිමතුන් බිහිවෙලා නැතිද කියලත් හිතෙනවා.
නැවත දේශපාලනයට එන්න කැමැත්තක් තිබෙනවද?
අනේ නැහැ. අපි දෙයක් ගැන කතාකරනකොට හරි පරිස්සම් වෙන්න ඕනි. එක් පාර්ශ්වයකට නරකක් කියනකොට මිනිස්සු හිතනවා අපි අනිත් පක්ෂයට ළැදියි කියලා.
හොඳක් දකින දෙයකට පවා අපි මොනව හරි කීවොත් කියනවා අපි කඩේ යනවා කියලා. ඒක නිසා නැවත එහෙම කිසිම පක්ෂයකට මම මැදිහත්වීමක් වෙන්නේ නැහැ.

ඔබේ ජීවිතයේ සිදුවූ ඇතැම් පසුබෑම් ගැන ඔබ පසුතැවෙනවද?
ජීවිතේ නාස්ති වුණා නේද කියන දුක මට තිබෙනවා.
මම පිටරටක ඉපදිලා මෙහෙට ඇවිත් මගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නැවතිලා කලා ක්ෂේත්‍රයේ වැඩ පිළිවෙළට කර ගන්නට නොහැකිවීම සහ නුසුදුසු විවාහ දෙකක්ම සිදුවීම වැනි දේවල් කල්පනා කරනකොට අපරාදේ කියන හැඟීමක් තිබෙනවා.
නැහැයි කියන්න බැහැ. නමුත් මම හිතනවා මට තව ඉදිරියට කරන්න වැඩ කටයුතු ඉතිරිවෙලා තිබෙනවා. මගේ කිතුනු දහමේ ආශීර්වාදය මට ලැබෙනවා.
ලොකු පසුතැවීමක් නැහැ. මට ලැබිලා තිබෙන දේවල් ගැන මම සතුටු වෙනවා. මට රත්තරං දරු පැටියෙක් ඉන්නවා. කලා ක්ෂේත්‍රය තුළ මම තවමත් කාර්යබහුල රංගන ශිල්පිනියක්.
ඉතින් ඒ දේවල් නිසා මට ලැබුණ දේවල් ගැන නිහතමානී සතුටක් තිබෙනව.
චතුරිකා රාජපක්ෂ
උපුටාගැනීම හදගැස්ම අතිරේකය
ඡයාරුප Upeksha Swarnamaliniෆේස් බුක් පිටුවෙනි
